රෑට රෑට හොරෙන් රට පනින ඇමැතිට දැල එළයි!

මසකට වරක් හොර රහසේ එක්දිනකට පමණක් විදේශ ගතවන කැබිනට් අමාත්‍යවරයකුගේ කටයුතු ගැන පරීක්ෂණයකට රාජ්‍ය තාන්ත්‍රික විමර්ශන අංශ විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත්කර ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය උපයෝගී කර ගනිමින් පසුගිය මාස කිහිපයකදීම ඔහු ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ. රාත්‍රී කාලයේ කටුනායකින් පිටත්වන ගුවන් යානයකින් චෙන්නායි වෙත යන මොහු පසුදා දහවල් ගුවන් යානයකින් නැවත මෙරටට පැමිණීම සිරිත් වශයෙන් කරගෙන ගොස් ඇත. මෙම චාරිකා ගැන එරට රජය හෝ තානාපති අංශ දැනුවත් කිරීමක්ද සිදුකර නොමැත.

රාජ්‍ය තාන්ත්‍රික වත්පිළිවෙත් අනුව අමාත්‍යවරයකු රටකින් රටකට පෞද්ගලික චාරිකාවක යෙදුණද නිල වශයෙන් අදාළ රට දැනුවත් කළ යුතුය. එවිට ඔහුගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් අවශ්‍යතා ගැන තානාපති අංශ අවශ්‍ය කටයුතු සංවිධානය කරයි. එහෙත් මෙම අමාත්‍යවරයා ඒ කිසිදු ක්‍රමවේදයක් අනුගමනය කර නැත. ඇතැම් අවස්ථාවල ඔහුගේ ගමන් සඳහා එක් සහායකයකු සහභාගි වූ බවද කියැවෙයි.

මොහුගේ මේ රහස් ගමන පසුගිය මාස දෙක තුනක් තිස්සේ ඉන්දීය ආරක්ෂක අංශවලද දැඩි අවධානයට ලක්ව තිබේ. මොහුගේ එක් දින ගමනේ සැබෑ අරමුණ කුමක්ද යන්න සිදුකෙරෙන විමර්ශනයෙන් හෙළිදරව් කරගැනීමට නියමිතය.
මෙම අමාත්‍යවරයා පිටපළාතක් නියෝජනය කරන එක්තරා පක්ෂ නායකයෙකි. පසුගිය කාලයේ ආන්දෝලනාත්මක පුවත් මැවූ ඔහු පසුගිය රජයේද ඇමැති තනතුරක් දැරීය.