ජැක්සන්ගේ සොයුරු සේනක ටයිටස් සමුගනී

දක්ෂ රංඟන ශිල්පියෙකු මෙන්ම පුවත් පත්කතුවරයෙකුද වන සේනක ටයිටස් මහතා ඊයේ (26) රාත්‍රී සිංගප්පූරුවේ රෝහලකදි ජිවිතයෙන් නික්ම ගියේය.සේනක ටයිටස් ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී ගේ සොහොයුරෙකි.

මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින ‘කූඹියෝ‘ ටෙලි නාට්‍යයේ පාතාල කල්ලියක ප්‍රධානියෙකු ලෙස ඔහු චරිතයක් නිරූපණය කරයි.

වේදිකා නාට්‍යක රඟපෑම සඳහා විදේශගතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටිය දී සිංගප්පූරු ගුවන්තොටුපළේ දී දැඩි ලෙස රෝගාතුර වූ ඔහු එහි රෝහලකට ඇතුළත් කොට තිබේ. 

ඔහු මියගොස් ඇත්තේ එහි ප්‍රතිකාර ලබන අතරේය.සේනක ටයිටස් මල්ටි පැක්ස් ආයතනයේ හා ඇපා ප්‍රකාශන ආතනයේ ළමා පුවත්පත් කතුවරයෙකු ලෙස දක්ෂතා පෙන්වූ අතර කැකුළු පුවත්පත ඔහු සංස්කරණය කළ එකකි.

වේදිකා, ටෙලි, සිනමා නළුවෙක්ද විය. ප්‍රචාරක දැන්වීම් මාධ්‍යයේ ද දස්කම් දැක්වූවෙකි.රසවත් විකට කතා කියමින් මිතුරන් පිනවමින් කොක් හඬලා සිනාසෙන ඔහුගේ මිත්‍රශීලිභාවය ඔහු ඇසුරු කළ මිතුරන්හට කිසිදා අමතක නොවනු ඇත. එපමණක් නොව කොතරම් හදිසි ගමනක් යන අතරමඟදී වුවද මුණගැහෙන මිතුරෙකුගේ වගතුග විමසීමට අමතක නොකරන්නෙකි.

වසර කිහිපයකට ප්‍රථම පොළ‍ඟෙකු දෂ්ඨ කිරීමෙන් අසාධ්‍ය තත්ත්වයට පත් ව ඉන් දිවි බෙරාගත්තේය. ඉන් පසු ඔහු කීවේ පොළඟ ගහල මැරුණෙ නැති එකේ සෑහෙන කාලෙකට මාව මැරෙන්න නැති වෙයි කියාය. කෙසේ නමුත් ඔහුට ජීවන රඟ මඬලෙන් ඊයේ සමුගැනීමට සිදු විය.