මෛත්‍රීගේ 'පවුලේ' වැඩ ගැන සෝදිසියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් සකසන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණිය වන චතුරිකා විසින් පසුගියදා 'ජනාධිපති තාත්තා' නමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කළ අතර ඒ සම්බන්ධයෙන් පැවති උත්සවයේදී රජයේ සම්පත් යොදාගෙන ඇති ආකාරයද සොයා බලන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි පැවසේ.

මේ අතර ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගේ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ද විමර්ශනයක් කරමින් සිටින බවට වූ රාවයක් මත, ජනාධිපතිවරයා ඊට සම්බන්ධ බවට සැකකෙරෙන එජාප තරුණ මන්ත්‍රීවරයකු කැඳවා ඒ පිළිබඳව විමසා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.