ජාතික හැදුනුම්පත අද සිට වෙනස් වෙයි

අද (01) සිට ඉල්ලුම් කරන නව ජාතික හැදුනුම්පත් සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුත් ජායාරූප ඉදිරිපත් කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු පවසයි.

අන්තර් කාලීන ජාතික හැඳුනුම්පත නම් වූ නව තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියට අනුකූල හා ඉතා සූක්ෂම ආරක්‍ෂිත ලක්ෂණවලින් සමන්විත ස්මාර්ට් කාඩ්පතක් හඳුන්වා දීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් ඇත.


මෙය දිගුකාලීන නව වැඩපිළිවෙලක මූලික පියවරක් වන අතර ලෝකයේ දියුණු රටවල් පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා යොදා ගනු ලබන නව තාක්ෂණය ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ද හඳුන්වා දීම සඳහා සිදු කරන ලබන වැඩපිළිවෙලකි.

මෙහි පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා කාඩ්පතෙහි මුද්‍රණය කරනු ලබන දත්ත සිංහල,දෙමල හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මුද්‍රණය කිරීමත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතියෙන් යුතු ජායාරූපයක් සහිතව නිකුත් කිරීමට කටයුතු කරන අතර නව ප්‍රමිතීන් කිහිපයක්ද හඳුන්වා දී ඇත.