ලන්ඩන් උමං දුම්රිය ත්‍රස්ත ප්‍රහාරයක් - 22ක් තුවාලයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර උමං දුම්රියක් ඉලක්ක කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

බටහිර ලන්ඩනයේ පාර්සන්ස් ග්‍රීන් උමං දුම්රිය ස්ථානයේ බාස්කට් එකක් තුළ බෝම්බය තැන්පත් කර තිබී ඇති අතර, ප්‍රහාරකයා සිතූ ලෙස බෝම්බය පුපුරා ගිනි ගැනීමක් සිදු නොවීමෙන් ජීවිත හානියක් සිදු නොවී හානිය අවම වී තිබේ.

තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වැඩි දෙනා පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, තවත් අය බෝම්බය සමග ජනතාව බියට පත්ව දිවීමේදී සිදුවූ තෙරපීම නිසා තුවාල ලබා තිබේ.

මේ අතර, ප්‍රහාරකයා සිද්ධියෙන් පසුව පැනගොස් ඇති අතර, බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ඔහු පසුපස ලුහුබඳිමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි.

මෙම ප්‍රහාරය අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි බව විශ්වාස කරන අතර, ප්‍රහාරකයා සතුව තවත් ආයුද හා පිහියක් පැවති බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට පත්ව නොමැත.