මීගමුවේදී STFට වෙඩි තැබූ සැකකරුවන් හඳුනා ගැනේ

මීගමුව කුරණ හන්දියේ සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි, පොලීසිය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක් අතර වෙඩි හුවමාරුව සිදුවුණේ, ඊයේ සවස. අපරාධ කල්ලි සාමාජිකයන් පිරිස කිසියම් අපරාධයක් සඳහා පැමිණෙන බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනූව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඔවුන් පැමිණි වෑන් රථය පරීක්ෂා කළා. ඒ අවස්ථාවේ මෙම පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි තබා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා බියගම, සීදූව, තෙල්දෙණිය හා රාගම ප්‍රදේශවල පදිංචිකරුවන්. බියගම පදිංචි 28 හැවිරිදි චම්පික කුමාර නමැත්තා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වජිර කුමාර නමැති සැකකරු 41ක් හැවිරිදි අනෙක් සැකකරු ප්‍රතිකාර ලබන්නේ, කොළඹ ජාතික රෝහලේ. සැකකරුවන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබූ අවස්ථාවේ ඔවුන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් අපරාධ කල්ලි සාමාජිකයින් තුවාල ලැබුවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ. වෑන් රථය පරීක්ෂා කිරීමේ දී ටී.56 ගිනි වි දෙකක් හා පිස්තෝලයක් ද ඊයේ සොයා ගැනුණා.