කව්ද මේ ආර්.කේ?

රටම කට ඇරගෙන බලාසිටි රවී කරැණානායක මහතාගේ කතාව පසුගියදා අමාත්‍යවරයා විසින් බැඳුම්කර කොමිසම හමුවේ දිගහැරියේය. තිරේ පිටුපස කතා, නම්ගම් මෙහිදී හෙළිවෙතැයි බොහෝදෙනා දෙනෙත් අයා බලා සිටියත් අවසානයේ අමාත්‍යවරයාගේ බොහෝමයක් පිළිතුරු වුණේ “මට මතක නෑ” “මම දන්නේ නෑ” වගේ සිල්ලර කතාය. එය අපිට සිල්ලර වුවත් අමාත්‍යවරයාට එය එකම පිළිතුර වියහැක.

එක් පැත්තකින් අමතක වීම මේ කොමිසමේ පෙනීසිටින බොහෝ දෙනෙකුට ඇති අසනීපයක් වී ඇත. සේවක අර්ථ සාධකයේ සමන් කුමාරට නෝනලා ගණන මතක නැත. ඉන්න තැන මතක තිබුණේ නැත. එසේම ඇලෝසියස්ට මුරපද මතක නැත. ඒ නිසා රවී කරුණානායක අමාත්‍යවරයාටත් අමතක වීම සාධාරණ යැයි කෙනෙකුට සිතිය හැකිය. කෙසේ වෙතත් “මතක නෑ, දන්නේ නෑ, හිටියේ නෑ” වැනි පිළිතුරු බොහෝමයක් පරීක්ෂණවල නිගමනයකට එළඹිය හැකි සාර්ථකම සාක්ෂි වූ අවස්ථාද ඇත. ඒනිසා රවී අමාත්‍යවරයාගේ සාක්ෂි ද මෙලෙස නිගමනයකට බොහෝ දුරට පැමිණිය හැක.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයාගේ නම බැඳුම්කරයට ගෑවෙන්නේ එය සිදුවූ දවසේ සිටය. ඒ ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බැවිනි. මේ නිසා මෙහි වගකීම සහ වැරැද්ද අර්ජුන මහේන්ද්‍රන්ට පසුව එල්ල වූයේ ඔහුටය. එහෙත් එය චෝදනාවක් මිස සාක්ෂි සහිත හෙළිදරව්වක් වූයේ නැත.

එහෙත් එම චෝදනාව සක්ෂි සහිත හෙළිදරව්වක් වීම සඳහා වැඩිකල් ගියේ ද නැත. ඒ පසුගිය දවසක අනීකා විනෝදනී විජේසූරිය නැමති තරුණිය විසින් ලබාදුන් සාක්ෂියක් හරහාය. ඒ ඇයට අයත් කොල්ලුපිටියේ පිහිටි මොනෑක් නිවාස සංකීර්ණයේ නිවසක් අර්ජුන් ඇලෝසියස් කුලියට ගෙන රවී කරුණානායකට ලබාදුන් බවට සඳහන් කළ නිසාය. එය එසේ මෙසේ සාක්ෂියක් නොවූ අතර රවී කරුණානායක මහතා පිළිතුරු ලබාදිය යුතුම ප්‍රශ්නයක් විය. මේනිසා අමාත්‍යවරයාට දෙවතාවක් කොමිසමට පැමිණෙන ලෙසට දැන්වීය. එහෙත් කැබිනට් රැස්වීමත්, පාර්ලිමේන්තු සැසියත් නිසා ඔහුට පැමිණිය නොහැකි බව දෙවතාවම කොමිසමට දන්වා තිබුණි. අවසාන වශයෙන් ඔහු අගෝස්තු 02 වැනිදා පැමි‍ණෙන බව නීතිඥවරුන් හරහා කොමිසමට වාර්තා කළේය.

ඒ අනුව රවී කරුණානායක අමාත්‍යවරයා පසුගිය දෙවැනිදා කොමිසමට පැමිණියේය. ඔහු සාක්ෂි විමසීමට පෙර කොමිසමෙන් සමාව ගත්තේ දෙවතාවක් පැමිණීමට නොහැකි වීම සම්බන්ධයෙනි. ඉන් අනතුරුව ප්‍රශ්න කිරීම ආරම්භ විය.
ප්‍රශ්න කිරීම රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා විසින් මෙහෙයැ විණි.

පළමු ප්‍රශ්නය වූයේ මෙම කොමිසම හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නයක් වන අමාත්‍යවරයාගේ පදිංචිය ගැනය. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ තම පවුල පිටින්ම කොල්ලුපිටියේ මොනෑක් ගොඩනැගිල්ලේ අංක 05 ජී.එච්. දරණ නිවසේ පදිංචිව සිටින බවටය. එයට හේතුව බත්තරමුල්ල රජමල්වත්ත නිවසේ අලුත්වැඩියා සිදුකිරීම බවද අමාත්‍යවරයා පැවසීය.

ඊට පසුව ආණ්ඩුව පිහිටුවීම ගැනත් මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීමත්, තාක්ෂණික කරැණු සම්බන්ධවත් ප්‍රශ්න කරන්නට විය. එම ප්‍රශ්නවලින් පසුව කොමිසමේ ප්‍රශ්නය වූයේ අර්ජුන් ඇලෝසියයස් හඳුනන්නේ කෙසේද යන්න ගැනය. එවිට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ ඇලෝසියස්ගේ සීයා, පියාගේ සිට හඳුනන බවය. එසේම ඇලෝසියස් සමඟ සාමාන්‍ය සබඳතාවයක් තිබූ බවද මෙහිදී අමාත්‍යවරයා කීය.

කොමිසමේ මිළඟ ප්‍රශ්නය වුණේ අමාත්‍යවරයා සමාගම්වල අධ්‍යක්ෂවරයකුද යන්නය. එයට අමාත්‍යවරයා කියා සිටියේ 2015 පෙර සමාගම් 08ක අධ්‍යක්ෂ ධූර හෙබවූ බවය. ඉන් කිහිපයක කොටස්කරැවකු ලෙස වර්තමානයේ කටයුතු කරන බවද ඔහු කීය. ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙෂන් ලොජිස්ටික් ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස 2015 තෙක් සිටි බවත් වර්තමානයේ බිරිඳත් වැඩිමල් දියණියත් අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය. ග්ලෝබල් ආයතනයේ සභාපතිවරයා කවුරුන්ද යන්න විමසන විට ලක්ෂ්මී කාන්තන් බවත් ඔහු එංගලන්තයේ පදිංචි වී සිටින බවත් අමාත්‍යවරයා කීය. ලක්ෂ්මී කාන්තන් සහ එමිල් කාන්තන් අතර සම්බන්ධයක් ඇත්දැයි කොමිසම විමසන විට අමාත්‍යවරයා ප්‍රශ්නයක් විමසමින් කොමිසමෙන් අසා සිටියේ එමල් කාන්තන් කවුද යන්නය. එයට පිළිතුරු ලබාදෙමින් විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා දැන්වූයේ විදේශ කටයුතු අමාත්‍යවරයා හැටියට එමිල් කාන්තන් ගැන දැනගත යුතු බවය.

ඉන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකතන ඩිජිටල් වෝහාරික වාර්තාවක් අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් ඉදිරිපත් කොට අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

නීල් ද සිල්වා සහ ඇලෝසියස් අතර සිදුවූ එස්.එම්.එස්. පණිවිඩයක් සම්බන්ධව මෙහිදී විමසීය. අමාත්‍යවරයා පවසා සිටියේ එවැනි දෙයක් ගැන තමන් නොදන්නා බවත් නීල් ද සිල්වා යන පුද්ගලයා පවා තමන් හඳුනන්නේ නැති බවය. දෙවැනි එස්.එම්.එස් පණිවිඩය ඇලෝසියස් සහ රුවන් ගාල්ලගේ යන අයකු සමඟ සිදුවූවකි. ඒ පිළිබඳව විමසන විට අමාත්‍යවරයා පැවසූවේ තමන් ඒ ගැනද නොදන්නා බවය. එහෙත් රැවන් ගාල්ලගේ නැමැත්තා දන්නා බවත් ඔහු ලංකා පුත්‍ර බැංකුවේ සේවකයකු බවත් අමාත්‍යවරයා කීය.

ඊට පසුව සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවකයන්ට ගෙවීමට රුපියල් මිලියන තුනක මුදලක් ඉල්ලීම සම්බන්ධවවත් අමාත්‍යවරයා දැනුම්වත් දැයි විමසීය. එයද තමා නොදන්නා බව අමාත්‍යවරයා කීය. මීළඟට අමාත්‍යවරයාගෙන් ඇලෝසියස් විසින් ඔහුගේ ලේකම්වරයාට යැවූ එස්.එම්.එස්. පණිවිඩයක් පෙන්වීය. එහිදී සඳහන් වී තිබුණේ “ආර්.කේ. සමඟ කතා කර ඔහුට මතක් කරන්න පී.එම්. සමඟ සාකච්ඡාවක් තියෙන බව ඒ සඳහා අමෙරිකානු භාණ්ඩාගාර නිලධාරීන් පැමිණෙන බවත් මතක් කරන්න.” යැයි යන්නය. ඒ පිළිබඳව අමාත්‍යවරයා දන්නේ දැයි විමසීය. එයද නොදන්නා බව කීය. අමාත්‍යවරයාව ඇලෝසීස්ගේ ලේකම් විසින් ආර්.කේ. ලෙස හඳුන්නේදැයි විමසූවිට අමාත්‍යවරයා පවසන්නේ තමාට රවී ලෙසත් කරු ලෙසත් මිනිස්සු කතාකරන බව පමණක් දන්නවා යන්නය.

ඊට පසු 2016 දෙසැම්බර් යැවූ තවත් එස්.එම්.එස්. පණිවිඩයක් පෙන්වමින් ආර්.කේ. හමුවෙන්න යැයි පවසා සිටියේ අමාත්‍යවරයාට නේදැයි විමසීය. එයද අමාත්‍යවරයා දැනසිටියේ නැත.

මීළඟ එස්.එම්.එස් පණිවිඩය මකාදමා තිබුණු අතර එහෙත් එහි සඳහන් වී ඇත්තේ සමාජ ජාලා ප්‍රබල නිසා පී.එම්.ටයි හොනරබල් රවීටයි සහයෝගය දක්වා ගොසිප් පිටුවක් කරමුදැයි යන්නය. එවිට හොනරබල් රවී ලෙස ආමන්ත්‍රණය කළේ තමන් නේදැයි අමාත්‍යවරයාගෙන් කොමිසම විමසනු ලැබීය. අමාත්‍යවරයා එයද නොදන්නා බව කීය.

ඊට පසුව අතිරේක සොලිස්ටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා සහ ගුවන් ගමන් වාර්තා කිහිපයක් ගෙන පෙන්වීය. එහි සඳහන් වුයේ අර්ජුන් ඇලේසියස්, අමාත්‍යවරයා 13 වතාවක් සිංගප්පූරු ගොස් ඇති බවය. එයට අමාත්‍යවරයා පවසා සිටියේ තමන් ඒ ගැන නොදන්නා බවයි. එහෙත් එකවතාවක් තමන්ට සිංගප්පූරුවේ තිබූ මූල්‍ය සම්මන්ත්‍රණයේදී ඔහු මුණගැසුනු බව අමාත්‍යවරයා කීය. එසේම තමන් සමඟ ඔහු එක්වතාවක් ගුවන් මඟින් ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පිළිගත්තේය.

අමාත්‍යවරයා ප්‍රශ්න කිරීම අතරතුර ඔහු විසින් රුපියල් බිලියන 75ක් ඉල්ලා දින රහිතව මහ බැංකුවට ඉදිරිපත් කළ ලියුම පෙන්වීය. අමාත්‍යවරයා එය තමන් විසින් ලියූ බවත් ඒ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ බවත් කීය. ලිපියේ දින අමතක වීම හිතාමතා නොකළ දෙයක් බවද ඔහු මෙහිදී පිළිගත්තේය.

නැවතත් අමාත්‍යවරයාගෙන් මොනෑක් නිවස සම්බන්ධව ප්‍රශ්න කෙරිණි. එම නිවස නහීල් විජේසූරියගේ දියණිය අනීකා විජේසූරිය මෙනෙවියගේ බව අමාත්‍යවරයා මෙහිදී කීය. එහෙත් නිවස ගන්නට ඇයත් සමඟ කතා නොකළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. සියලු කටයුතු සිදුකළේ තමන්ගේ පවුලේ පිරිස් විසින් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

වොල්වර් ඇන්ඩ් රෝ සමාගම මෙම නිවස බද්දට ගත් බවට අමාත්‍යවරයා දැන සිටියේදැයි විමසීය. අමාත්‍යවරයා පැවසුවේ තමන් ඒ ගැන මුලින් කිසිවක් නොදැන සිටි බවත් එහෙත් පසුව අනීකා විජේසූරිය දේශපාලකයෙකුට නිවස බද්දට දීමට අකමැති වූ නිසා එම සමාගමට බද්දට දුන් බවට දැනගත් බවත්ය. නිවස මිලදී ගත් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගම කාගේදැයි විමසීය. එය තමන්ගේ පවුලේ සමාගමක් බවත් එහෙත් ඒ ගනුදෙනු ගැන තමන් නොදන්නා බවත් ඒ සියලු කටයුතු සිදුකළේ තම බිරිඳ වන මේලා විසින් බවත් අමාත්‍යවරයා මෙහිදී දැන්වීය. එසේම අර්ජුන් ඇලෝසියස් හමුවී මේලා කරුණානායක මහත්මිය මේ නිවස බදුගැනීම පිළිබඳ සාකච්ඡා කළ බව තමන් දන්නේදැයි විමසුවත් එයද තමන් නොදන්නා බව ඔහු කීය.
එම නිවෙස බද්දට ගත් වොල්වර් ඇන්ඩ් රෝ සමාගමේ අධ්‍යක්ෂකයෙකු ලෙස අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ්රි ඇලෝසියස් මහතා සිටිනවාදැයි අමාත්‍යවරයාගෙන් නැවතත් කොමිසම විමසුවත් එයද නොදන්න බවත් සියලු කටයුතු සිදුකරන්නේ තම පවුලේ අය බවත් තමන් වැඩි කාලයක් මුදල් අමාත්‍යංශයේ කටයුතු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එම නිවස මාස 06ක් බදුගෙන නැවත මාස දෙකක් දීර්ඝ කරගැනීම දන්නවාදැයි විමසුවත් එයද අමාත්‍යවරයා දැන සිටියේ නැත. කොටින්ම මිලියන 165කට නිවස මිලදී ගත් බවටවත් අමාත්‍යවරයා දැනසිටියේ නැත. කෙසේ වෙතත් මේ පිළිබඳ තමන් දැනසිටියා නම් පදිංචියට නොයන බවත් තමන් ඒ ගැන දැනගත්තේ පර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් අනුව බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. ඒ අනුව රවී කරුණානායක අමාත්‍යවරයා එම නිවස ගැන දැනනොසිටි බව මෙහිදී හෙළිවිය.

කෙසේ වෙතත් අමාත්‍යවරයා ඇලෝසියස්ගේ විවාහ මංගල්‍යට සම්බන්ධ වුණු බවත් එයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කතානායක කරූ ජයසූරිය, නිමල් සිරිපාල, වි.ජ.මු. ලොකු බණ්ඩාර, අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරු සහභාගී වූ බවත් කීය.

අවසානයේ අමාත්‍යවරයා පවසා සිටියේ මාධ්‍ය මඟින් තම ප්‍රතිරෑපය විනාශ කළ බවත් එහෙත් තමන් පැමිණ සාක්ෂි ලබාදුන් බවත්ය. ඒ අනුව අමාත්‍යවරයාගේ සාක්ෂිය නිම විය.

බොහෝමයක් කරුණු දැනගෙන කොමිසම ප්‍රශ්න කළත් අමාත්‍යවරයා කරුණු නොදැන සිටි බව මෙහදී බැලූබැල්මට පෙනෙන දෙයකි. එහෙත් එය ඇත්ත ද බොරු ද යන්න බව දැනගත හැක්කේ අවසන් කොමිසන් වාර්තාවෙන් පමණි. එහෙත් වගකිවයුතු අමාත්‍යවරයෙකු ලෙස සුළුදේ පවා නොදැන සිටීම පුදුමයට කරුණක් බව ඇතැමුන්ට සිතෙනු ඇත.

එසේම පසුගිය බ්‍රහස්පතින්දා ලංකාවේ ප්‍රථම වතාවට ජංගම දුරකථනයට තහනම් නියෝගයක් ද පැනවිණි. ඒ ඇලෝසියස්ගේ දුරකථනයටය. කොමිසම තහනම් නියෝගයක් නිකුත් කරමින් පවසා සිටියේ ඇලෝසියස්ගේ දුරකථනයේ දත්ත වෙනස් කිරීම හෝ එයට ඇතුළු වීමට උත්සාහ ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙසය. කෙසේ වෙතත් එම වාරණයත් සමඟ මේ කොමිසමේ තත්ත්වය එන්න එන්නම පුදුම සහගත වෙමින් තිබේ. ඉදිරියේ හෙළිදරව් වන සාක්ෂි මත තව බොහෝ දේවල් හෙළිවිය හැක. සමහර විට බොහෝ දෙනෙකුට උන්හිටි තැන් අහිමි වීමට ද ඉඩ තිබේ.

ගයාන් ගාල්ලගේ

Share this article: