සිම්බාබ්වේ පිලට ඓතිහාසික එක්දින තරගාවලි ජයක්

පරාජයේ ප්‍රපාතයකට තල්ලු වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ඊයේ (10 දා) සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පස්‌වැනි එක්‌දින තරගයෙන් සිම්බාබ්වේ හමුවේ කඩුලු 03 ක ලැඡ්ජා සහගත පරාජයක්‌ ලැබීය. 3-2 ක තරගාවලි ජයක්‌ ලද සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකාවට එරෙහිව ලද පළමු එක්‌දින තරගාවලි ජයද මෙය වේ.

ටෙස්‌ට්‌ වරම් හිමි රටකට එරෙහිව සිම්බාබ්වේ පිල එක්‌දින තරගාවලියක්‌ ජයගනු ලැබුවේ සිව් වසරකට පමණ පසුවන අතර ඔවුන් අවසන්වරට එම දක්‍ෂතාව දක්‌වා ඇත්තේ 2013 දී බංග්ලාදේශයට එරෙහිවය. මීට පෙර සිම්බාබ්වේ පිල ටෙස්‌ට්‌ වරම් හිමි රටවල් වන ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය සහ බංග්ලාදේශයට එරෙහිව පමණක්‌ එක්‌දින තරගාවලි ජයගෙන තිබුණි. කෙසේ වෙතත් අවසන් මාස හත තුළදී ශ්‍රී ලංකාව සහභාගි වූ 16 වැනි එක්‌දින තරගයේදී ලද 11 වැනි පරාජය මෙය වේ. ඉකුත් වසරේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ එක්‌දින තරග 35 කදී ජය ලබා ඇත්තේ තරග 10 ක්‌ පමණක්‌ වීමෙන් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනූවටත් වඩා පහත වැටීමේ අවදානමක්‌ මෙම පරාජයෙන් පසුව මතුව තිබේ. මෙම තරගයේදිත් ලසිත් මාලිංග සහ අසේල ගුණරත්න අතින් උඩපන්දු බිම වැටීමද සිම්බාබ්වේ පිලේ ජයග්‍රාහී ගමන පහසු කරවන්නක්‌ විය.

සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන්ගේ ප්‍රහාරය නවතා ගැනීමට ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවාර දහය ඇතුළත පන්දු යවන්නන් පස්‌දෙනෙක්‌ම මාරු කළේය. ශ්‍රී ලංකාවේ සුපිරිම පන්දු යවන්නා ලේබලය අලවා සිටින ලසිත් මාලිංගට මෙම තරගාවලියේදී ලබාගත හැකිවූයේ කඩුලු 2 ක්‌ පමණි. කෙසේ වෙතත් සිම්බාබ්වේ මැද පෙළ කඩුලු හතරක්‌ ලකුණු 25 ක්‌ තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුවත් එයට සටනක්‌ දිය හැකි ලකුණු සංඛ්‍යාවක්‌ ඉතිරිව නොතිබීමෙන් ශ්‍රී ලංකා පිල අඳුරු සෙවණැලිවලින් වැසී ගියේය.

ජයග්‍රහණයට අවශ්‍ය අත්තිවාරම සකස්‌ කළ හැමිල්ටන් මසකඩ්සා සහ සොලොමන් මයර් පන්දු 86 කදී ලකුණු 92 ක්‌ එක්‌ කළහ. ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර පනහ තුළදීම එල්ල කළේ හතරේ පහර 16 ක්‌ වුවද සිම්බාබ්වේ පිතිකරුවෝ පළමු පන්දුවාර 15 තුළදී පමණක්‌ හතරේ පහර 12 ක්‌ සහ හයේ පහර තුනක්‌ එල්ල කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව විනාශ කර දැමූහ.

කුසලානයේ සින්නක්‌කර අයිතිය ලියා ගැනීම දෙපිලටම විවෘතව තිබියදී තරගාවලියේ පළමුවරට කාසියේ වාසිය හිමිකර ගැනීමට සිම්බාබ්වේ නායක ග්‍රැහැම් ක්‍රීමර් සමත් විය. එසැණින් පළමුව පිති ප්‍රහාරය දියත් කිරීමට ශ්‍රී ලංකාවට ඇරැයුම් කළ සිම්බාබ්වේ නායකයා දඟපන්දු යවන ෂිකන්දර් රසාට පන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා පිල මෙල්ල කිරීමට ආරම්භ කළේය.

පිට පිටම ද්විත්ව ශතක දෙකක සබඳතා පවත්වමින් ලෝක වාර්තාවක්‌ තබා තිබූ ශ්‍රී ලංකා ආරම්භක පිsතිකරු යුගලගේ සබඳතාව පන්දු අටකදී ලකුණු තුනකට සීමා කළ චැටරා දික්‌වැල්ලගේ ඉනිම අහවර කර දැමුවේය. දික්‌වැල්ලගේ දැවී යාමෙන් තවත් ලකුණු 10 ක්‌ එකතුවෙද්දී කුසල් මෙන්ඩිස්‌ද නොහික්‌මුණු පහරක්‌ ගසමින් පිටියෙන් ඉවත් විය. පීඩනය ලිහිල් කර දැමීමේ වගකීම පරිණතම ක්‍රීඩකයා වන උපුල් තරංගගේ කරමත පැටවෙද්දී ඔහු ඉදිරියට ඇදී තට්‌ටු දැමීමට යද්දී ෂිකන්දර් රාසාගේ පන්දුව කඩුල්ලටම දඟ කැවීමෙන් ශ්‍රී ලංකාවට තෙවැනි කඩුල්ල අහිමි විය.

නායක ඇන්ජලෝ මැතිව්ස්‌ තම පිල ඇදගෙන යාමේ බර කරමත තබාගෙන සිටියද ඔහුගේ ඉනිම පන්දු 47 කදී ලකුණු 24 කට නිමා විය. මැතිව්ස්‌ සහ ගුණරත්න පන්දු 74 කදී ලකුණු 47 ක සබඳතාවක්‌ එක්‌ කිරීමට සමත් වුවද එය ශ්‍රී ලංකාවට පීඩනයෙන් ගැළවීමට තරම් ප්‍රමාණවත් නොවුණි. ලකුණු දෙසීයේ සීමාවද පන්නා යැමේ අභියෝගයකට මුහුණ දී සිටියදී නවවැනි කඩුල්ලට පන්දු 53 කදී ලකුණු 50 ක සබඳතාවක්‌ ශ්‍රී ලංකා පිලට දායාද කළ අසේල ගුණරත්න සහ දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකාව සටනක්‌ දිය හැකි මායිමකට ඇදගෙන යාමට සමත් වූහ. එහිදී අසේල ගුණරත්න පන්දු 81 කදී හතරේ පහර හතරක්‌ සමග අර්ධ ශතකයක්‌ වාර්තා නොකරන්නට සිම්බාබ්වේ පිලට වේලාසනම තරගයේ ජයග්‍රහණය දෝතට ගැනීමට අවස්‌ථාවක්‌ තිබුණි. කෙසේ වෙතත් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (323) වූ ධනුෂ්ක ගුණතිලක මෙම තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

අවසන් තරගයේ වීරයා ලෙස සිකන්දර් රාසා සම්මාන ලබද්දී තරගාවලියේ වීරයා සම්මානය හැමිල්ටන් මසකඩ්සා ට හිමිවිය.