මේ පාණ්ඩු ආණ්ඩුව සමඟ රටට ඉදිරි ගමනක් නෑ

ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශට ශ‍්‍රී ලංකාවේ විගණකාධිපතිවරයකුගේ නරකම වාර්තාව හිමිකර දුන් මේ පාණ්ඩු ආණ්ඩුව සමඟ රටට ඉදිරි ගමනක් නැති බව තහවුරු වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘‘2016 වසරේ මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු හා දත්ත සම්බන්ධයෙන් තමන්ට සෑහීමකට පත්වීමට නොහැකි බව විගණකාධිපතිවරයා තම වාර්තාවක් මගින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඔබ දන්නවා විගණකාධිපතිවරයා විසින් සෑම අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම හා වෙනත් රාජ්‍ය ආයතනවල මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් සිය ස්වාධීන මතය ප‍්‍රකාශයට පත් කරනා බව. එසේ එම වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ඇතැම් වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පවසනවා, ‘සත්‍ය හා සාධාරණ ස්වරූපයක් දක්නට තිබේ’ කියලා. තවත් සමහරක් වාර්තා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ මතය වන්නේ ‘සත්‍ය හා සාධාරණ ස්වරූපයක් ඇතැයි ප‍්‍රකාශ කරන්න බැහැ’ කියන එක. ඒ වගේම ‘මට මෙම මූල්‍ය වාර්තාව සම්බන්ධයෙන් මතයක් ප‍්‍රකාශ කිරීමට නොහැක’ යන්න ද විගණකාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කරන අවස්ථා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ප‍්‍රකාශයට පත්කොට ඇත්තේ එයයි.

‘ඉතිහාසයේ මුල්වරට...’

මුදල් අමාත්‍යාංශ ඉතිහාසයේ මුල්වරටයි එහි වාර්තා සම්බන්ධයෙන් තමන්ට මතයක් ප‍්‍රකාශ කළ නොහැකියි කියා විගණකාධිපතිවරයෙක් සඳහන් කර ඇත්තේ. මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ තොරතුරු සහ දත්ත සනාථ කිරීමට අවශ්‍ය කරන අභ්‍යන්තර වාර්තාවන් ලබාදී නොමැති වීමෙන් විගණකාධිපතිවරයා කියනවා ‘මෙම මූල්‍ය වාර්තා පිළිබඳ මට මතයක් ප‍්‍රකාශ කිරීමට නොහැක’ කියා.

ශ‍්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ විගණකාධිපතිවරයා කියනවානම් ‘මට මතයක් ප‍්‍රකාශ කරන්න බැහැ’ කියා වෙනත් රටවල් එම වාර්තා පිළිගනීවිද? මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා, රාජ්‍ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 79.3%ක් කියා. නමුත් විගණකාධිපතිවරයා තම වාර්තාවෙන් පෙන්වා දෙනවා, ‘සැබෑ අගය, (රාජ්‍ය ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 83.3%ක්’ කියා. මුදල් අමාත්‍යාංශය සිය වාර්තාවෙන් ‘රාජ්‍ය ණය බර රුපියල් බිලියන 9401යි’ කියා පවසනවා. නමුත් විගණකාධිපතිවරයා කියනවා’ ඇත්ත ගණන රුපියල් බිලියන 9864යි’ කියා. අනෙකුත් සංඛ්‍යාලේඛන සහ දත්ත පිළිබඳව විගණකාධිපතිවරයාට සෑහීමකට පත්විය හැකි තරම් කරුණු, ඒවා සනාථ කිරීමට අවශ්‍ය සාක්‍ෂි මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කර නැහැ. ඒ නිසයි අවසානයේ විගණකාධිපතිවරයා කියන්නේ, ‘මට මුදල් අමාත්‍යාංශයේ මූල්‍ය වාර්තා සම්බන්ධයෙන් කිසිදු මතයක් ප‍්‍රකාශ කළ නොහැක’ කියා. මෙය තමයි යම්කිසි විගණකවරයෙක් යම් විගණනයකින් අනතුරුව ලබා දෙන නරකම වාර්තාව. මුදල් අමාත්‍යාංශයේ වාර්තා සම්බන්ධයෙන් මෙවැනි මතයක් ශ‍්‍රී ලංකාවේ විගණකාධිපතිවරයෙක් විසින් මීට ඉහතදී ලබා දී නැහැ. මේකෙන් පැහැදිලියි, බොරු පැළ කරලා බලයට ආපු මේ ආණ්ඩුව අද ජනතාව දැනගත යුතු සංඛ්‍යාලේඛන සම්බන්ධයෙනුත් බොරු පැළ කරමින් සිටිනා බව.

‘අවුරුදු 02 තුළ වැඩි වූ ණය බර වසන් කිරීම’

රටේ විගණකාධිපතිවරයා මෙසේ පෙන්වා දෙද්දී මේ රට, ලෝක ආර්ථික දර්ශකවල කුමන ස්ථානයකට පත් වේවිද? අපේ රට සතු සැබෑ මූල්‍ය ශක්තිය මේ විදියට විකෘති කොට පෙන්වනවා නම් වෙනත් රටවල් අපට ණය ආධාරයක්වත් ලබා දේවිද? තමන්ගේ පාලන කාලය තුළ සිදු වූ ණය බර වැඩි වීම වසන් කිරීමට වැරදි සංඛ්‍යාලේඛන මවාපෑමට යාමෙන්, මේ ආණ්ඩුව අද මේ රට ඇද දමා ඇත්තේ කොතරම් ලැජ්ජා සහගත තත්වයකටද? ඒ වගේම ආර්ථික වර්ධන වේගය ලෙස මේ ආණ්ඩුව පෙන්වා දුන් අගයත් අසත්‍ය එකක් බව දැන් අනාවරණය වී අවසන්.

‘බොරුවෙන් රජ කිරීම’

මහ බැංකු වාර්තා මගින් මේ රටේ රැුකියා වියුක්තිය ලක්‍ෂ 04කින් වැඩි වූ බව නේවා දුන්නාම ඒක වහන්නත් මේ ආණ්ඩුව බොරු බේගල් රැසක් ඇද බෑවා. මේ සියල්ල අපට කියන්නේ, මේ ආණ්ඩුවට බොරුවෙන් රජ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. ඒ නිසයි අද මුදල් අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛන පවා මේ විදියට වෙනස් කර ඇත්තේ. එහෙම ආණ්ඩුවකට රටක් පාලනය කිරීමට බැහැ, විපත්තිදායක තත්වයක් පාලනය කිරීමට බැහැ. එදා සුනාමිය ආපු අවස්ථාවේ එවකට අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා යාපනය ඇතුළු උතුරු ප‍්‍රදේශයටත්, අම්පාර ඇතුළු නැඟෙනහිර ප‍්‍රදේශයටත් ගියා. ඇත්ත අනතුරුදායක තත්වයන් සලකා බැලූවා. එදා ශ‍්‍රී ලංකාවට ආපු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අනන් මහතා පුදුමයට පත් වූවා, ශ‍්‍රී ලංකාවේ සහන සේවාවල කාර්යක්‍ෂමතාව පිළිබඳව. රට තුළ යුදමය වාතාවරණයක් පැවතියත් ආරක්‍ෂක හමුදාවන් සහ සහන සේවාවල නියැලූණු ජනතාව වෙරළ තීරය ඒ වනවිටත් සම්පූර්ණයෙන්ම ශූද්ධ පවිත‍්‍ර කර තිබීම ඔහුගේ පුදුමයට හේතු වූවා. මේ රට ඒ විදියට විපත් කළමනාකරණය කර ගත්තු රටක්. යුද්ධ කරන ගමන් විපතට පත් වූ ජනතාව නඟා සිටුවීමට කැප වූ රටක් අද මේ ආණ්ඩුව ඇද දමා ඇත්තේ කුමන ඉරණමකටද?

විපතට පත් වූ ජනතාවට අත දෙන්න බැරි පාණ්ඩු ආණ්ඩුවක් අද මේ රටේ හැදිලා තිබෙන්නේ. මේ පාණ්ඩු ආණ්ඩුව සමඟ නම් රටට ඉදිරි ගමනක් යන්න බැහැ. බොරුවෙන්, වංචාවෙන් ගත කරන මේ ආණ්ඩුව සම`ග ගෙවෙන හැම තප්පරයක් පාසා රටේ ජනතාව විපතට පත් වීමයි සිදුවෙන්නේ.’’

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මහතා ද එක්ව සිටියේය.