අලුත් සහල් මංගල්‍යය සිරිමා බෝ සමිඳු අබියස

හෙළයේ මහා ගොවි පිළිවෙත 50 වැනි ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (08) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පැවැත්විණි. සාම්ප්‍රදායිකව වාර්ෂිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නේ නොඉදුල් සහලින් ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නායක නාහිමි පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 50 වන වරට සංවිධානය කර තිබිණි.

ජය ශ්‍රී මහා බෝ සමිදු ලක්දිවට වැඩමවීමත් සමග ඇරඹූණ බවට සැලකෙන අලුත් සහල් මංගල්‍යය හෙළ චාරිත්‍රානුකූලව මගුල් බෙර හා හේවිසි නාද හෙළ සංස්කෘතිකාංග මධ්‍යයේ නැගෙනහිර වාහල්කඩින් ඇතුළු වී ශ්‍රී මහා බෝ සමිඳුන් පැදකුණු කොට පැමිණි වැලි මළුවේ උඩු වියනකින් හා පාවඩින් සරසන ලද විශේෂ පීඨීකාවේ තැන්පත් කර ඇති රන් ආලේපිත පාත්‍රයට ප්‍රථම සහල් මිට අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ හා කෘෂිකර්ම අමාත්‍යය දුමින්ද දිසානායක මහතා ඇතුළු මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රධාන ගොවි මහත්වරුන් විසින් පුරවනු ලැබීය.

සෙත් පිරිත් සජ්ජායනා මැද සහල් ප්‍රාත්‍රය පිරෙන තුරු සහල් දැමීම දිවයිනේ සතර දෙසින් පැමිණි ගොවි ගෙවිලියෝ සිදු කළහ.අනතුරුව අලුත් සහල් මංගල්‍යයට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ආරාධිතයින් පාත්‍රය සහලින් පිරවීමට එක් වූ අතර, සහල් පාත්‍රය පිරී ඉතිරි යන ලෙසින් ඔවුහු අලුත් සහල් ප්‍රත්‍රයට එක් කළහ.

පෙර රජ දවස සිට පැවැත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසි වසිත්වා - කෙත්වතු සාරවත් වේවායි ප්‍රාර්ථනා කිරීමත්, කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථීකයක් ඇති වේවායැයි පතමින් රටට ජාතියට සෙත් පැතීමත් මෙහිදී සිදු කෙරිණි. දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු විය.

අනුරාධපුර - මධ්‍යම විශේෂ සහ මධ්‍යම සමූහ