උදයංගගේ ගිණුමට රටවල් තුනකින් මුදල්

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ සිද්ධියේ සැකකරුවකු වන හිටපු රුසියා තානාපතිවරයකු වන උදයංග වීරතුංග මහතාගේ ගිණූමට පැනමාව ලැට්වියාව සහ මාෂල් දිවයිනෙන් මුදල් ලැබී ඇති බව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

යුක්රේනයේ නිෂ්පාදිත මිග් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් රජයට සිදුවූ අලාභය පිළිබඳ පරීක්ෂණ කිරීමේදී ඒ බව හෙළිදරව් වී ඇති බව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කියා සිටියේය.

උදයංග වීරතුංග මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින බවටත් ජාත්‍යන්තර පොලිසිය හරහා සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බවත් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන සඳහා එරට මධ්‍ය බලධාරියා හරහා ඉල්ලීමක් කළ යුතු බවත් අධිකරණයට කියා සිටි මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අන්තර්ජාතික වරෙන්තුවක් නිකුත් කර ඇති බව කියා සිටියේය.

ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක (රුපියල් මිලියන 225.5 කට වැඩි) පමණ ප්‍රමාණයක් උදයංග වීරතුංග මහතාට අයත් ගිණුම් 16කට වරින් වර බැර කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.

සැකකරුට අයත් පුද්ගලික ගිණුමේ මුදල් ගනුදෙනු ලැට්වියාව පැනමා සහ මාෂල් දිවයින හරහා සිදු කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය අන්‍යෝන්‍ය වශයෙන් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බව කී මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඒ සම්බන්ධයෙන් යුක්රේනයේ මධ්‍ය බලධාරියා හරහා මේ වන විට ලිපි මගින් වාර්තාවක් කැඳවා ඇති බව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරු සම්බන්ධ විමර්ශන සිදු කිරිමට මේ වන විටත් නිලධාරියෙකු ඇමරිකාව වෙත පිටත් කර ඇති බවත් කී අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන දිගටම ක්‍රියාත්මක කර ඇති බවද කීවේය.

මිග් යානා ගනුදෙනුව සම්බන්ධ මුල් ලේඛනය මේ වන විටත් සොයා ගැනීමට නොහැකි වි ඇති බවත් නාවික හමුදාවේ නිතිඥවරයා අධිකරණයට කියා සිටි අතර ගනුදෙනුව සම්බන්ධව මුල් ලේඛනය අතුරුදන් වීම සම්බන්ධයෙන් විනය පියවර නොගත්තේ මන්දැයි මහේස්ත්‍රාත්වරිය විමසූ අවස්ථාවේ එම නිලධාරියා ප්‍රකාශ කර සිටියේ එවකට නාවික හමුදාවේ මෙම ගනුදෙනුවේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයතු කළ ඉංජිනේරු අධ්‍යක්ෂකවරයා මේ වන විට විශ්‍රාම ගොස් ඇති බව ය.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කර අධීකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරු අත් අඩංගුවට ගැනීමට නිකුත් කළ ජාත්‍යන්තර වරෙන්තුව ක්‍රියාත්මක කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉකුත් නොවැම්බර් 25 වනදා කොටුව මහේස්ත්‍රාත්වරිය කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළ අතර ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වල ප්‍රගතිය එම නිලධාරිහු මහේස්ත්‍රාත්වරිය හමුවෙ ප්‍රකාශ කර සිටියහ.

සිද්ධය සම්බනධ විමර්ශන කඩිනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසයට නියෝග කළාය.