කුණු කන්ද ව්‍යසනයට ගෝඨා වගකිව යුතුයි

මීතොටමුල්ල කුණු කන්දට වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය බව පුරවැසි සංවිධාන එකමුතුව පවසයි.

මීතොටමුල්ලට කුණු දැමීම නවත්වන ලෙසට අධිකරණ නියෝගයක් තිබිය දී හිටපු ආරක්ෂක ලේකම්වරයා එය නොසලකා හරිමින් දිගින් දිගටම කොළඹ කුණු මීතොටමුල්ලට ගෙන ගිය බව ද එම එකමුතුවේ සම කැඳවුම්කරු අකලංක හෙට්ටිආරච්චි මහතා කීවේය.

පසුගිය රජයේ ඊනියා කොළඹ ලස්සන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ කුණු මීතොටමුල්ලට ගෙන ගිය බව ද අවධාරණය කළේය‍.

හෙතෙම මේ අදහස් පළ කළේ මරදාන සාමයික හා සමාජිය කේන්ද්‍රයේ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ හෙට්ටිආරච්චි මහතා, මීතොටමුල්ලට කුණු ගෙනැවිත් දැමීම ගැන ප්‍රදේශවාසීන් දිගින් දිගටම විරෝධය පළ කළා. පැවති රජයට හා වත්මන් රජයට මේ ජනතාව තමන්ගේ ගැටලුව කිවුවා. නමුත් අවාසනාවන්ත ලෙස දේශපාලනඥයන් මේ ප්‍රශ්නය මඟ හැරියා. ඒ නිසාම අද ඒ ජනතාව මහපොළවේ පණ පිටින් වැළලිලා ඉන්නවා. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මෙය ස්වාභාවික ආපදාවක් වූවා නම් අපට හිත හදාගන්න අමාරු නැහැ. නමුත් මෙය වගකිව යුතු පාර්ශ්ව විසින් තමන්ගේ වගකීම මඟ හැරීම නිසා සිදු වු ඛේදවාචකයක්.

දිනකට කසල ටොන් 1200ක් පමණ කොළඹින් එකතු වෙනවා. හෙට සිට මේ කසළ දමන්නේ කොහොද? එතැනත් විනාශයකින් තමයි නතර වෙන්නේ.

බ්ලූමැන්ඩල්වලට කුණු දාන්න එපා කියලා උසාවිය නියෝග කළ පසු තාවකාලිකව තමයි මීතොටමුල්ලට කුණු දැම්මේ. නමුත් වසර ගණනාවක් ඊට පිළියම් නොදී දිගින් දිගිටම කුණු දැම්මා. දැන් මේ අය එක එක්කෙනාට බෝල පාස් කර ගන්නවා.

මේ ගැටලුවට පැලැස්තර විසඳුම් අවශ්‍ය නැහැ. පැලැස්තර විසඳුම්වලින් ජනතාවගේ ප්‍රශ්න මඟ හරින්න දෙන්න බැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා කිවුවා දුම්රියෙන් කුණු පුත්තලමට ඇදලා ප්‍රතිචක්‍රීකරණය කරන්න වැඩපිළිවෙළක් තිබුණා කියලා.

මේක කරන්න තිබුණේ ඒ ආණ්ඩුවේ අන්තිම අවුරුදු දෙක තුළද? මේ අය කළේ මේ කුණු කන්දට විරෝධය පළ කළ ජනතාව මෙල්ල කරමින් දිගින් දිගටම කුණු දැමීම පමණයි. පසුගිය රජයට සුන්දර මධ්‍යම පාන්තිකයන් ෆැන්ටසියක් කොළඹ ඇති කරද්දීම තමයි මේ කුණු ප්‍රශ්නයටත් විසඳුමක් හොයන්න තිබුණේ.

ඊනියා කොළඹ ලස්සන කිරීමේ ව්‍යාපෘතිය යටතේ තමයි මේ කොළඹ කුණු මීතොටමුල්ලට ගියේ.

වගා ළිඳකට වැටුණු අලි කිහිප දෙනකු බේරා ගන්නා අන්දම දැක්වෙන සිද්ධියක් මේ වන විට අන්තර්ජාලයේ පළ වෙනවා. මෙහි දී එක්තරා වන ජීවි නිලධාරියෙක් වළෙන් ගොඩට එන පළමු අලියාට ජීව උණ්ඩ භාවිත කර වෙඩි තබා මරා දමනවා. වගා ළිංවලට වැටෙන අලින් ගොඩ ගැනීමේ දී එම අලි උඩට පැමිණි පසු හැසිරෙන ආකාරය ගැන වනජීවී නිලධාරීන් දැනුවත් වී තමයි සිටිය යුතු වන්නේ.

මේ අලියා වෙනත් අලි වගේ වඩාත් සාහසික ලෙස හැසිරෙන්නේ නැහැ. නමුත් එම සතාට මොහු වෙඩි තියන්නේ අලි වෙඩි වලින් නොවේ.

නිර්වින්දන හෝ භාවිත නොකර එක වර ජීව උණ්ඩ භාවිත කර එම අලියාට වෙඩි තැබීම ගැන අමාත්‍යාංශය විසින් පරීක්ෂණයක් සිදු කළ යුතුයි.

අද හයිටි රාජ්‍යයට ගොස් සිටින ආරක්ෂක අංශයේ ඇතැම් අයගේ හැසිරීම් අපට අනුමත කරන්න බැහැ. අද මේ අය එහි කුඩා දරුවන් පවා අපයෝජනය කර තිබෙන බව වාර්තාවල දැක්වෙනවා.

හමුදාව ඇතුළේ ඉන්න මෙවැනි අපරාධකරුවන්ට රණවිරු ලේබලයට මුවා වෙලා හැංගෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ.

මේ අය හඳුනාගෙන නීති මඟින් කටයුතු කළ යුතු වෙනවා. එසේ කරන විට ඇතැම් අය රණවිරු දඩයමක් ගැන කියවනවා. රණවිරු ලේබලයට මුවා වී අපරාධ යට ගසන්නට ඉඩ දිය නොහැකියි යැයි කීවේය.

වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා, පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චමීර නාකන්දල මහත්වරුද මෙහි දී අදහස් පළ කළහ.