අලුත්ම තිරිහන් පෙත්ත ලෝකය කළඹයි

ලෝකයම මහත් කැලැඹීමකට පත්කරන විප්ලවකාරී පෙත්තක් නොබෝ දිනයකම වෙළඳපලට එන්නට නියමිතය. මේ පෙත්ත හැඳින්විය හැක්කේ වයසට යාම වළක්වන පෙත්ත (Anti ageing drug) නැතිනම් කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් සදාකාලික තිරිහන් පෙත්ත නමිනි.
වයසට යාමේ ක්‍රියාවලිය සිදුවීමේ වේගය වැළැක්වීමට හැකියාව ඇති විස්මකර්ම රසායනය තමන් සොයාගත් බව මේ පසුගිය මාර්තු 23 වැනිදා Science විද්‍යා සඟරාවට ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයන් පිරිසක් කරුණු ඉදිරිපත් කර තිබුණි. ඔවුන්ගේ මේ ප්‍රකාශය ලෝකය තුළ විප්ලවකාරී උද්යෝගයක් හටගන්වන්නට සමත්ව තිබේ. දැන් කවුරුත් බලා ඉන්නේ පෙත්ත එනතුරුය. ඒ නැවත තිරිහන් වන්නටය. තරුණ කාලේ ජවය නැවත ලබාගන්නටය. මේ විප්ලවකාරී සොයාගැනීම නිසා තවත් වසර හතරකදී ලෝකය සදාකාලික තාරුණ්‍යයෙන් ඔපවත් වූ අමුතු තැනක් වන්නට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සරසවියේ සහ බොස්ටන් හි හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයේ පරීයේෂක පිරිසක් විසින් සිදුකරන ලද මේ සොයාගැනීම පිළිබඳව කාටත් වඩා උනන්දු වී ඇත්තේ අභ්‍යවකාශය අල්ලන්ට සැරුසෙන නාසා ආයතනයයි. නොබෝ දිනකින්ම අඟහරු මත පදිංචිවන්නට සිතා සිටින ජනපදිකයන් පිරිස සඳහා මේ පෙත්ත තොග වශයෙන් යොදාගන්නට ඔවුහු බලාපොරොත්තුව සිටිති. අනෙක් අතට මේ සොයාගැනීම වැදගත් වන්නේ දැන් ලෝකයේ ප්‍රධානම මාරකයක් බවට පත්ව තිබෙන පිළිකා රෝගයටය. පිළිකා මුළුමනින්ම ලෝකයෙන් අතුගා දමන්නට මේ එළිදරව් කරගත් රසායනය යොදාගැනීමෙන් හැකිවේයැයි ප්‍රබල සාධක මතුව තිබේ. එසේම අල්ෂයිමර් වැනි අමතක වීමේ රෝගයන් ගැන සදහටම අමතක කර දමන්නටද මේ මගින් අවස්ථාව උදාවන බවට මෙහි පර්යේෂක පිරිස පෙන්වා දී තිබේ. ඉතින් මේ අලුත් තිරිහන් පෙත්ත ලෙඩදුක් නැති සදාතනික තරුණ්‍යය පිරි අනාගත ලෝකයක් ගැන දැන් අප ඉදිරියේ අපූරු සිහිනයක් මවා තිබේ. මෙන්න මේ කාරණාව නිසාම මුළුමහත් ලෝකයේම සමාජ, සංස්කෘතික, දේශපාලනික මෙන්ම ආර්ථික වශයෙන්ද ලොකු හෙයියම්මාරැවක් සිදුවන්නට හැකිය. පෙති නිපදවන්නාගේ සිට බෙදාහරින්නා දක්වාද මිලදී ගන්නාගේ සිට පෙති බලෙන් පැහැර ගන්නා මාෆියාවන් දක්වාද ලෝකය මුහුණුවර වෙනස්වන්නට නියමිතය. මේ තරම් සුවිශාල හෙයියම්මාරුවකට මගපෑදූ මේ සොයාගැනීමේ ප්‍රධාන පර්යේෂකයා වන්නේ වසර ගණනාවකට සිට තිරිහන් බව රැකගැනීම ගැන සොයාබැලූ මහාචාර්ය ඩේවිඩ් ඒ සින්ක්ලෙයාර්ය. ඔහු හාර්වඩ් වෛද්‍ය විද්‍යාලයේ ජාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා සේම වයස්ගත වීම පිළිබඳ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය හැදෑරීම සඳහාම පිහිට වූ පෝල් එෆ් ග්ලේන් මධ්‍යස්ථානයේ සම අධ්‍යක්ෂවරයාය.


මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස සොයාගත් මේ අලුත් ඖෂධය මෙතෙක් කලක් මිනිස් සිරුර තුළ මෙන්ම ඕනෑම සජීවී සෛලයක් තුළ පැවතුනකි. වයසට යන්නට හේතුව කුමක්ද? සහ එම ක්‍රියාවලියේ වේගය අඩාල කරගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳ වසර ගණනාවක්ම පර්යේෂණයන්හි යෙදුණු මහාචාර්ය සින්ක්ලෙයාර් පෙන්වා දෙන්නේ මේ පිළිබඳව වගකිවයුතු ප්‍රධාන රසායනය අපේ ජාන හෙවත් DNA අණුව තුළ සැඟවී ඇති බවය. ජීවී සෛල තුළ සිදුවන නිරන්තර සිදුවන බෙදීමේ සහ ගුණනය වීමේ ක්‍රියාවලියම වයසට යාමට හේතුව ලෙස බලපායි. මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ සෛල බෙදීමේදී DNA අණුවලට සිදුවන හානිය, වයසට යාම සහ එය කෙතරම් වේගයෙන් සිදුවන්නේද යන්න තීන්දු කරන බවය. එය වළක්වා ගැනීමට නම්, එනම් වයසට යාම පමාකර බෙදීමේ ක්‍රියාවලියට ලක්වන්නට කලින් තිබූ සෛලයේ තත්ත්වයම ඇති නව සෛල දිගින් දිගටම පවත්වාගෙන යන්නට නම් සෛලය තුළට DNA අණු තැනීමට හේතුවන කොටස් එකිනෙක බැඳ තැබීමට සමත්වන NAD+ ලෙස අණුක ජීව විද්‍යාවේදී හඳුන්වන ඒවායේ නිකොටිනැමයිඩ් ඇඩිනොසින් ඩයි න්‍යුක්ලියෝටයිඩ් නමැති ප්‍රෝටීන සහ සීනි එකතුව තැණුනු අණු සෛල තුළට අවශ්‍ය තරම් නියමිත මට්ටමක පවත්වා ගත යුතු බවය. හානි වූ DNA අණු නැවත බැඳ නිසි ලෙස සකස් කිරීමට ආධාර වන මේ රසායණ අණු සෛල තුළ ස්වභාවිකව පැවැතුනත් වයස්ගත වීමත් සමග සෛල තුළ පවතින ප්‍රමාණය අඩුවී යයි.

මේ නිසාම අවශ්‍ය තරම් NAD+ පිටතින් ලබාදීම මේ සඳහා පිළියමක් වනු ඇතැයි මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස උපකල්පනය කළහ. NAD+ සාමාන්‍ය සෛලයක බිත්තිය ඔස්සේ ගමන් නොගනියි. ඒ නිසා ඒ වෙනුවට ඔවුන් තෝරාගන්නේ NMN ලෙස හඳුන්වන NADවලට මූලික අණුක සංයෝගයයි. එය සෛල බිත්තිය ඔස්සේ ගමන්ගෙන එය තුළදී කොටස් දෙක බැගින් එකතු වී සම්පූර්ණ NAD+ අණුව බැගින් සාදයි. මේ නිසා කැඩී බිඳී යන DNA අණු නැවත මුළුමනින්ම කලින් තිබුණාක් බඳු තත්ත්වයටම නිපැදවිය හැකිවෙයි. ඒ කියන්නේ සෛලය තවමත් තරුණ බවය.

මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස මේ උපකල්පනය අණුව යමින් විද්‍යාගාර මීයන් සොයා එය සනාථ කිරීම සඳහා පර්යේෂණ ඇරුඹූහ. අවුරුදු 60ක මිනිසකුගේ වයස් ප්‍රමාණයට සරිලන අන්දමේ වයස්ගත දේහයක් හිමි වයසක මීයන් සහ තරුණ මීයන් යොදාගනිමින් මේ පරීක්ෂණය සිදුකරන්නට යෙදුණි. එහිදී ජලය සමඟ NAD+ වයස්ගත මීයන්ට ලබාදෙමින් ඔවුන්ගේ සෛල තුළ හටගන්නා වෙනස පරීක්ෂාවට ලක් කළේය. සොයාගැනීම විස්මිත වූවකි! වයස්ගත මීයන් තුළ අලුතෙන් ගොඩනැගෙන්නට වූ සෛල තරුණ මීයන් තුළ දක්නට ලැබෙන සෛලවලින් කිසිසේත්ම වෙනස් වූයේ නැත. එයින් සනාථ වී ඇත්තේ NMN යනු සදාකාලික තාරුණ්‍යය රුක දීමට සමත් දෙවියන්ගේ රසායණය නැතිනම් තිරිහන් බවේ ඖෂධය බවය.

වසර හතරක පමණ කාලයක් සිදුකරමින් පැවැති මේ පර්යේෂණයෙන් පසු මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස NMN වෙන්කර ගනිමින් එමගින් පහසුවෙන් භාවිතා කළ හැකි පෙත්තක්ද නිපදවා තිබේ. ඔවුහු සිය පරීක්ෂණ පත්‍රිකාව එළිදක්වා ඇත්තේ ඉන්පසුවය.

මිනිසා පෙලන ලොකුම භීතිකා අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වයසට යාම පිළිබඳ භීතිකාවය. එය දෙවැනි වන්නේ මරණයට ඇති බියට පමණි. විද්‍යාව හා තාක්ෂණ දියුණුව මගින් අභ්‍යවකාශය ජයගන්නට මිනිසා පෙළඹවූයේද එහි ඇති ගුරුත්වය රහිත පරිසරය වයසට යාම පමාකරනු ඇතැයි යන බලාපොරොත්තුවය. නමුත් අභ්‍යවකාශ ගතවූ හාදයන්ද නැවත පොලෝ තලයට ආවේ එහිවූ විකිරණශීලීත්වයට ලක්ව හිටියාටත් වඩා වයස්ගත වූවන් ලෙසටය. දුර්වල පේශි පද්ධතියක් සහිත අබල දුබල තැනැත්තන්සේය. ඒ මදිවාට ඔවුන්ගේ මතක ශක්තියද දුර්වලව තිබුණි. පිළිකාව වැලඳී මියයාමේ හැකියාවට සියයට 100කින් ඉහළ ගොස් තිබුණි. තවත් වසර හතරකදී අඟහරු කරා යන්නට නාසා ආයතනය පිඹුරුපත් සකසා තිබුණු නමුත් ඔවුන් වෙත ඉදිරිපත්ව ආ ලොකුම ගැටුලවක් වූයේද ඔය කියන තත්ත්වයයි. වයසට යාමේ වේගය අවම කරගත හැකි උපක්‍රමයක් ගැන ඔවුන්ගේ අවධානයද යොමුවූයේ බොහෝ කලක සිටය. නාසා i Tech නමැති තරගය පැවැත්වූයේ ඒ සඳහා අලුත් විද්‍යා තාක්ෂණික උපක්‍රමයක් සොයන්නටය. එයට ඉදිරිපත්වූ 300ක් පමණ වූ ව්‍යාපෘති අතරින් මුල්තැන දිනාගත්තේ මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිසගේ තිරිහන් ඖෂධයය පිළිබඳ සොයාගැනීමය. තවත් වසර හතරකින් පමණ පෙත්තක් ලෙසින් තිරිහන් ඖෂධය නිපදවාදෙන්නට සින්ක්ලෙයාර් ඇතුළු පිරිස පොරොන්දු වී තිබේ. මේ නිසා අඟහරු කරා යන්නට සිතා සිටින උදවියද දැන් ඉන්නේ සැනසුම් සුසුම් හෙලමිනි. ඒ අය පමණක් නොව මහපොළොවේ පයගසා මුහුණේ රුලි ගැන ඉදුණු කෙස් ගැන තැවි තැවී ඉන්නා උදවියටද දැන් හිත සනසා ගන්නට හැකිය.

මහාචාර්ය සින්ක්ලෙයාර් ඇතුළු පිරිස තවත් මාස 06කින් තමන්ගේ, විස්මිත සොයාගැනීම මිනිසුන් අරභයා මුල්වරට පරීක්ෂා කර බලන්නට යති. බොස්ටන් කාන්තා රෝහලේදී සහ බ්‍රිග්හැම් රෝහලේදී මිනිසුන් යොදා කෙරෙන මෙම පරීක්ෂණය උදෙසා අවශ්‍ය වන තිරිහන් පෙති දැනටමත් මහාචාර්ය සින්ක්ලෙයාර් සහ ආචාර්ය වූ දෙපලගේ ප්‍රධානත්වයෙන් යුතු නිව් සවුත් වේල්සයේ මෙට්රෝ බයෝටෙක් සහ අන්තර්ජාතික මෙට්රෝ බයෝටෙක් ආයතනවලදී නිපදවා පැවැති බව වාර්තාවේ.

ඔවුන්ගේ මීළඟ පියවර බවට පත්ව ඇත්තේ වයසට යාමත් සමඟ අත්වැල් බැඳ එන අමතක වීමේ රෝගය හෙවත් අල්ෂයිමර්, දෙවැනි මට්ටමේ දියවැඩියාව, හෘදය හා රුධිරනාල ආශ්‍රිත රෝග මෙන්ම වඩාත් විනාශකාරී වූ පිළිකාව සඳහා නිට්ටාවටම ඖෂධයක් මේ කියන පෙත්තට යොදාගත් රසායනික අණු ආශ්‍රයෙන්ම සොයාගැනීමය. එසේම දරුඵල නොමැති කාන්තාවන්ට දරුඵල සරු කිරීමටත්, පිළිකා සඳහා විකිරණ ප්‍රතිකාර ගත් උදවියට වැළඳෙන අතුරැ ආබාධ සුව කිරීමටත් ඔවුහු බලාපොරොත්තුව සිටිති. මේ අණුව අපට කියන්නට ඇත්තේ සින්ක්ලෙයාර් සහ වූ ගේ තිරිහන් පෙත්ත තරුණ ජවයෙන් පිරි මෙතෙක් සිතා සිටියාට වඩා අමුතුම ලෝකයක් හෙට තිළිණ කරන්නට නියමිත බවය.

 සුගත් පී. කුලතුංගආරච්චි