E නිව්ස් ප්‍රධානිට එරෙහි පෙත්සම් 14ට සංශෝධන

විනිසුරුවරුන් සම්බන්ධ පුවත් පළකිරීමෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවි ප්‍රධානී සඳරුවන් සේනාධීර මහතා අධිකරණයට අපහාස කර ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනය කර දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා ඇති පෙත්සම් 14ක් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) අවසර දුන්නේය.

ඒ අනුව පෙත්සමෙහි සඳහන්ව ඇති විත්තිකාර සඳරුවන් සේනාධීර මහතාගේ මාලඹේ ලිපිනය වෙනුවට ඔහු දැනට පදිංචි ලිපිනය පෙත්සම්වලට ඇතුළත් කරන ලෙස නියම කෙරිණි.

සඳරුවන් සේනාධීර මහතාගේ ලිපිය අනාවරණය කරගෙන ඇති බවට නීතිඥවරුන් කරුණු දැන්වීම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා අවසර දෙන ලදි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (03) කැඳවන ලදි.

නීතිඥ ඕවිටිග විතානගේ මධුර විතානගේ විසින් මෙම පෙතස් 14 ගොනු කර තිබුණි. මහේස්ත්‍රාත්වරුන් ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විවිසුරුවරුන් දක්වා විනිසුරුවරුන් 21ක් සම්බන්ධ පුවත් 14ක් ලංකා ‘ඊ’ නිව්ස් වෙබ් අඩවියෙහි පළ කරන ලද බව පෙත්සම්වල සඳහන් විය.

එම විනිසුරුවන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අන්දමින් අසත්‍ය සහ අපහාසාත්මක කරුණු එහි සඳහන් කර ඇති බව පෙත්සම්වල සඳහන් විය.

එලෙස කටයුතු කිරීමෙන් ලංකා ඊ නිව්ස් ප්‍රධානී සඳරුවන් සේනාධීර මහතා විනිසුරුවරුන්ට පමණක් නොව සමස්ත අධිකරණ පද්ධතියටම අපහාසයක් කර ඇතැයි පෙත්සම්වල සඳහන් විය.

සඳරුවන් සේනාධීර ලන්ඩනයේ සිට මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබුණි.

එබැවින් මේ පිළිබඳව විමර්ශනය කර ලංකා ඊ නිව්ස් ප්‍රධානියට දඬුවම් පමුණුවන ලෙස මෙම පෙත්සම් මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.