මගේ බලාපොරොත්තුව ද්විත්ව ශතකයක්‌

1st Test Day One Post match Press conference with Kusal Mendis
ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව මංගල ටෙස්‌ට්‌ ශතකය ද්විත්ව ශතකයක්‌ කිරීමට බලාපොරොත්තු වුවත් එය කිරීමට නොහැකි වූ බව පවසන කුසල් මෙන්ඩිස්‌ අද (08 දා) දිනයේදී කෙසේ හෝ ද්විත්ව ශතකයක්‌ ලබා ගැනීමට ආශාවෙන් පසුවන බව පවසයි.

මම ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව පල්ලෙකැලේදී ද්විත්ව ශතකයට (176) ආසන්න වුණා. නමුත් ද්විත්ව ශතකය ගන්න බැරි වුණා. කොහොම හරි මේ තරගයේදී ද්විත්ව ශතකයක්‌ ගන්න ආශාවෙන් ඉන්නවා යෑයි මෙන්ඩිස්‌ පවසයි

දකුණු අප්‍රිකාවේදී අසාර්ථක වීමෙන් පසුව නායකයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨයන් තමාට දුන් උපදෙස්‌ පිළිබඳවද මෙහිදී මෙන්ඩිස්‌ පැවසීය. දකුණු අප්‍රිකානු සංචාරයේ ලකුණු අතරට එන්න බැරි වුණා. නමුත් මට ගොඩක්‌ කට්‌ටිය කිව්වා පුහුණුවීම් තව වැඩි කරන්න පුහුණුවීම් කරනවා මදියි කියලා. ඒ නිසා මම පුහුණුවීම් වැඩි කළා. ඒ ඇරෙන්න ලොකු වෙනසක්‌ කළේ නැහැ. කොහොම වුණත් හැමෝම මට කිව්වෙ ඔයාට පුළුවන් උනන්දු වෙන්න කියන එක තමයි.

පළමු පන්දුවෙන් දැවී ගියද එය නිපන්දුවක්‌ බවට අනෙක්‌ අන්තයේ සිටි දිමුත් කරුණාරත්න තමාට පැවසූ බවද මෙන්ඩිස්‌ පවසයි. මම පළමු බෝලයට ගහපු පහර වැරදි පාරක්‌. ඒත් මම යන කොට මට නවතින්න කියල කිව්වා. ඒ වෙලාවෙ දිමුත් අයියා කිව්වා මමත් ඒක නිපන්දුවක්‌ වගේ දැක්‌කා. හැබැයි ෂුවර් නැහැ කියලා. පස්‌සෙ නිපන්දුවක්‌ වුණහම මම දැනගත්ත මේ අවස්‌ථාවෙන් උපරිමය කණ්‌ඩායමට ලබාදෙනවා කියලා.

ගාලු තණතීරුවේ පළමු දිනය පළමු භාගයේදී ලකුණු ලබා ගැනීමට අපහසු වූ බවද මෙන්ඩිස්‌ සිහිපත් කළේය. පළමු භාගයේ ලකුණු ගන්න ටිකක්‌ අමාරු වුණා. ඒ වෙලාවේ අපි එක ලකුණ ගන්න තමයි උත්සහ කළේ. මොකද බංග්ලාදේශ පන්දු යවන්නෝ උදේ වරුවේ හොඳින් පන්දු යෑව්වා. අපි දැනගෙන හිටියා ගොඩක්‌ වෙලා කඩුල්ලේ රැඳී සිටියොත් ඒ අයගේ රිද්මය වෙනස්‌ වෙන බව.

දඟ පන්දු යවන්නෝ තිදෙනෙක්‌ ක්‍රීඩා කිරීම හොඳ දෙයක්‌ බවත් අද දිනයේදී හැකි උපරිමයෙන් ලකුණු ලබා ගනිමින් බංග්ලාදේශයට අභියෝගයක්‌ එල්ල කිරීම සැලසුම බවත් මෙන්ඩිස්‌ වැඩිදුරටත් පැවසීය. වත්මන් ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ද්විත්ව ශතක ලාභී පිතිකරුවන් නොසිටින අතර ඒ සඳහා කුසල් මෙන්ඩිස්‌ට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 34 ක්‌ පමණි.