රජයේ රෝහල්වලින් චැනල් සේවයක්

රජයේ රෝහල්වලින් පස්වරු 04 න් පසුව මුදල් ගෙවා විශේෂඥ වෛද්‍ය සේවා පරීක්ෂණ, ශල්‍යකර්ම සිදුකර ගත හැකි නව ක්‍රමවේදයක් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රජයේ රෝහල්වල උපකරණ භාවිතා කරනුයේ පැය අටක කාලයක් පමණක් වන අතර එම උපකරණවල වලංගු කාලය වසර තුනක් බවත් පැය 24 පුරා ශල්‍ය උපකරණවලින් පහසුකම් ලබාදීම පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදුකරන බවත් ඇමැතිවරයා කීය.

කොළඹ ජාතික රෝහලට රුපියල් මිලියන 300 ක් වටිනා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් නව MRI යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ජාතික රෝහලේ බණ්ඩාරනායක වාට්ටු සංකීර්ණයේ දී ඇමැතිවරයා මේ බව පැවැසුවේය.

ඉතා අඩු මුදලකට මේ සේවාව ලබාදීමට පියවර ගන්නා අතර එය පෞද්ගලීකරණය කිරීමක් නොවන බවත් මේ නව ක්‍රමවේදය මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ආදායමක් හා සෞඛ්‍ය වැය ශීර්ෂය අඩු කර ගැනීමට හැකි බවත් ඇමැතිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.