අර්ජුන් මහේන්ද්‍රන් කවුරුත් නොකළ වැඩක් කරලා

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාල සීමාව තුළ බැඳුම්කර වෙන්දේසියක් අතරතුර මහබැංකු අධිපතිවරයෙකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙනු පළමු වරට තමා දුටුවේ ආන්දෝලනාත්මක බැඳුම්කර වෙන්දේසිය සිදු වූ දිනයේදී බව එම දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධිකාරී මොහොමඩ් ආසීම් මහතා පවසයි.

ඒ බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හෙතෙම අද (02) මේ බව සඳහන් කළේය.

මහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අද දිනයේ 06 වන දිනටත් රැස් වු අතර කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධිකාරී මොහොමඩ් ආසීම් මහතාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිලන්ත නාවන මහතා ඔහුගෙන් සාක්ෂි විමසීම ආරම්භ කළ අතර ඒ අතරතුර ඔහු ආසීම් මහතාගෙන් විමසා සිටියේ ඔහු ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරී ධුරය දරණ සමයේ එම දෙපාර්තමේන්තුවේ අධිකාරී වශයෙන් කටයුතු කළේ කවුද යන්නයි.

ඊට පිළිතුරු ලබා දෙමින් ආසීම් මහතා කියා සිටියේ 2015 පෙබරවාරි 09 වනදා දක්වා එම ධුරයේ කටයුතු කළේ ධම්මික නානායක්කාර මහතා බවයි.

ඉන්පසු එම ධුරය සඳහා ඊ.ඩී.එන්.සෙනෙවිරත්න මහත්මිය පත්වූ බව ආසීම් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර මහා භාණ්ඩාගාරයේ මුදල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව එතෙක් භාවිත කළ සෘජු ක්‍රමවේදය සම්බන්ධයෙන් 2015 පෙබරවාරි 20 වනදා වන විට එම දෙපාර්තමේන්තුවට කිසියම් පැමිණිල්ලක් ලැබී තිබුණේද යන්න රජයේ නීතිඥවරයා ඔහුගෙන් විමසා සිටියේය.

එවිට ආසිම් මහතා සඳහන් කළේ එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබූ බවයි.

කෙසේවෙතත් එහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ 2015 පෙබරවාරි මස 25 වනදා රුපියල් බිලියනයක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් සම්බන්ධයෙන් පුවත්පත්වල දැන්වීමක් ද පළ වී තිබුණු බවයි.

එම දැන්වීමේ වෙන්දේසි දිනය 2015 පෙබරවාරි මස 27 වනදා බවත් උදෑසන 8.30 සිට පෙරවරු 11.00 ලෙස එහි කාල සීමාව සඳහන් වන බවත් රජයේ නීතිඥවරුන් මෙහිදී පෙන්වා දෙන ලදී.

කෙසේවෙතත් එම වෙන්දේසියේදී අවසන් ලංසුව ලැබුණු වේලාව කුමක්දැයි ආසීම් මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ එම ලංසුව ලැබුණේ එදිනම පෙරවරු 11.04 ට පමණ බවයි.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පිළිගත හැකි ඉල්ලීමක් ප්‍රාථමික වෙළඳුන් විසින් සිදුකළහොත් වෙන්දේසියක කාල සීමාව දිගු කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරිවරයාට බලයක් ඇති බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

කෙසේවෙතත් වෙන්දේසිය පැවැත්වෙන කාල සීමාව තුළ කවුරුන් හෝ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණියේදැයි රජයේ නීතිඥවරයා මෙහිදී ඔහුගෙන් ප්‍රශ්න කළේය.

ඔහු පැවසුවේ එදින උදෑසන 10.45 ට පමණ එවකට මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතා රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට පැමිණෙනු තමන් දුටු බවයි.

එමෙන්ම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සේවය කරන කාල සීමාව තුළ බැඳුම්කර වෙන්දේසියක් අතරතුර මහබැංකු අධිපතිවරයෙකු එම දෙපාර්තමේන්තුවට පැමිණෙනු දුටු පළමු අවස්ථාව මෙය බවද කොමිසම හමුවේ ආසීම් මහතා පැවසුවේය.

එහිදී අර්ජූන් මහේන්ද්‍රන් මහතා වෙන්දේසියේ තොරතුරු සම්බන්ධයෙන් විමසූ බවත් එම තොරතුරු වෙන්දේසිය පැවැත්වෙන කාලසීමාව අතරතුර ලබාගත නොහැකි බව දෙපාර්තමේන්තුවේ අධිකාරීවරිය මහේන්ද්‍රන් මහතාට දැන්වූ බවත් මෙහිදී ආසීම් මහතා සඳහන් කළේය.

එමෙන්ම මාර්ග සංවර්ධන කටයුත්තක් සඳහා රජයට අතිරේක මුදල් අවශ්‍යතාවක් ඇති බව අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙහිදී පැවසූ බව ද ආසීම් මහතා ප්‍රකාශ කළේය.

මහා භාණ්ඩාගාරය එවැනි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් මීට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුවත් කළේ දැයි කොමිසමේ සාමාජිකයින් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි ඉල්ලීමක් තම දෙපාර්තමේන්තුවට නොලැබුණු බවයි.

කෙසේවෙතත් එම අවස්ථාවේදී ණය දෙපාර්තමේන්තුව රජයේ මුදල් සපුරා ගැනීමේදී සෘජු ක්‍රමයට වඩා වෙන්දේසි ක්‍රමය අනුගමනය කිරීම සුදුසුයැයි ඔහු විශ්වාස කරන බවට අර්ජූන් මහේන්ද්‍රන් මහතා පැවසූ බව ආසීම් මහතා කොමිසම හමුවේ පැවසුවේය.

වෙන්දේසිය පැවැත්වෙන අතරතුර පෙරවරු10.57 සිට 10.59 දක්වා කාලය තුළ රුපියල් බිලියන 13.58 ක මුදලක් ලංකා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම හරහා ලංසු තැබීමක් සිදුව ඇති බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී කොමිසමේ සාමාජික වේළුපිල්ලේ කන්දසාමි මහතා විමසා සිටියේ එම ලංසුව ලැබෙන අවස්ථාව වන විට අර්ජුන් මහේන්ද්‍රන් මහතා ණය දෙපාර්තමේන්තුව තුළ රැඳී සිටියේද? යන්නයි.

මහේන්ද්‍රන් මහතා ඒ වන විටත් ණය දෙපාර්තමේන්තුවේ රැඳී සිටි බව ඔහු සඳහන් කළේය.

කොමිසම හෙට දිනයේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධිකාරී මොහොමඩ් ආසීම් මහතාගෙන් ටෙන්ඩර් කමිටුවේදී සිදු වූ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සාක්ෂි විමසීමට නියමිතව තිබේ.