කොළඹ පාතාලය යළි සක්‍රිය වෙයි

කොළඹ ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රධාන පාතාල කල්ලි දහයක් පමණ යළි සක්‍රිය වී විවිධ අපරාධ සිදුකරන බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ.

මේ වසරේ ගත වූ දින කිහිපයේදී පමණක් පාතාල කල්ලි දෙපාර්ශ්වයක් අතර ඇති වී තිබෙන ගැටුම් හේතුවෙන් පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවද පොලිස් බුද්ධි අංශ සඳහන් කරයි.

අංගොඩ රත්තරන්, අතුරුගිරියේ බණ්ඩා, මීගොඩ චානා යන පාතාල සාමාජිකයන් මෙලෙස ඝාතනය වී ඇති අතර අදාළ ඝාතන බන්ධනාගාරගතව සිටින පාතාල නායකයන් විසින් මෙහෙයවා ඇති බවටද පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත. පාතාල කල්ලි පහක් පමණ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවත් කඩුවෙල සමයං, අතුරුගිරියේ ලසියා යන දෙපාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වී ඇති බවටද බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පාතාල කල්ලි මර්දනය කිරීම සහ අපරාධවලට අදාළ පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහාද කොළඹ ප්‍රදේශයේ පිහිටි සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී ඇත.