අද දින සිදුවන රවි මාරුව ඔබට?

2017 පෙබරවාරි 12 වන ඉරු දින එනම් අද දින රාත්‍රී අට පසුවී විනාඩි තිස්නවයට රවි ග්‍රහයා කුම්භ රාශියට සංක්‍රමණය වනු ඇත.අඟහරුට අයත් දෙනට නැකතේ තුන්වන හා හතරවන පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් පුවපුටුප නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් ගමනින් 2017 මාර්තු 14 වන කුජ දින සවස පහ පසුවී විනාඩි තිස්තුන දක්වාම මෙසේ කුම්භ රාශියෙහි ගමන් කරයි.

රවි කුම්භ රාශිගතවීම අප රටට ඇතිකරන්නාවූ බලපෑම විමසා බැලීමේදී යම් යම් අර්බුද, වැඩවර්ජන, උද්ඝෝෂණ නිසා රජය අපහසුතාවයට පත්වන්නාවූ කාලයකි. පාලක පක්ෂය හා මහජනයා අතර වාද භේද ඇතිවනවාත් හැර මහජන සෞඛ්‍යයට බාධා ඇතිවනු ඇත. දුම්රිය මෙන්ම ගුවන් යානා ආශ්‍රිත කටයුතු කරන ප්‍රධානියකුට මාරක කාලයකි.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී එංගලන්තය, ජර්මනිය, පලස්තීනය, ප්‍රංශය, ඉතාලිය, රුමේනියාව, ඇල්ජීරියාව, ඉන්දියාව, නෝර්වේ, අමෙරිකාව, මොරොක්කො, ලිතුවේනියාව, ස්විඩනය, සිරියාව, අරාබියාව, පෝලන්තය, අමෙරිකානු රටවල් ආශ්‍රිතව විනෝද ස්ථානවලට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමත් අශුභ සිදුවීම් වාර්තා වෙයි. ප්‍රවීණ රංග ශිල්පියකුට නිළියකට මාරක ඇතිවනු ඇත. පාර්ලිමේන්තුව ආශ්‍රිතව කැළඹිලිද මහජන නියෝජිතයන්ට/ මන්ත්‍රීවරුන්ට මාරකද ඇතිවනු ඇත. කුඩා ගුවන් යානයක් අනතුරට පත්වනු ඇත.

මේෂ - කැපී පෙනේ
ඔබට යහපත් ඵල අත්වනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා යහපත්ය. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වේ. තමන්ගේ වැඩවල ප්‍රමාද ගති ඇතිවීම නිසා වැඩ ගොඩගැසෙනු ඇත.
වෘෂභ - නිවෙස අලුත්වැඩියා
ඔබට යහපත් ඵල ලැබෙනු ඇත. තම නිවසේ අලුත්වැඩියාවක් හෝ නව කොටසක් එක්කරගැනීමට කටයුතු යොදන වකවානුවක් වේ. උත්සාහයෙන් තම කටයුතු සාර්ථක බවට පත්කරගනු ඇත.
මිථුන - හදිසි පීඩා
ආගමික කටයුතුවලට නැඹුරුව කටයුතු කරන වකවානුවක් වේ. දේශපාලනයෙන් උදව් උපකාර අත්වනු ඇත. ගමන්වලදී පරිස්සම් වීම වැදගත් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත.
කටක - ගනුදෙනු පරිස්සමින්
අනවශ්‍ය අය මිතුරුවීමට පැමිණෙනු ඇත. හදිසි ධන හානියකට පත්වේ. ගනුදෙනුකිරීම්වලදී කල්පනාකාරී වන්න. නව ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට යහපත් වන අතර තම උත්සාහයේ තරමට ඵල නෙලාගත නොහැකි වකවානුවක් වේ.
සිංහ - විරුද්ධවාදීන් ඇතිවේ
තමාගේ සහකරුට හෝ සහකාරියට ශරීර පීඩා ලෙඩ මතුවන කාලයක් වේ. තම කටයුතුවලට විරුද්ධවාදීන් ඇතිවනු ඇත. ව්‍යාපාරිකයන්ට ලාභ අඩුවන අතර අන් අය සමඟ අමනාපකම් ඇතිකරන්නාවූ වකවානුවක් වේ.
කන්‍යා - දුර ගමනක්
තම හිත මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. නීතිමය ගැටලුවකට මැදි වේ. ගමන්වලින් ශාරීරික පීඩා ඇතිවනු ඇත. දුරගමන් විදේශ ගමන් අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටු වෙයි.
තුලා - දේශපාලන උදව්
නව අරුතක් තම බුද්ධියට ඇතුළු කරගත හැකිවනු ඇත. අධ්‍යාපනික කටයුතුවල නිරතවන අයට යහපත් ඵල අත්වන අතර දේශපාලනික කටයුතුවල නිරතවන අයටත් දේශපාලන උදව් අපේක්ෂාවෙන් සිටි අයටත් යහපත්ය.
වෘෂ්චික - ගෙදරින් පිටතට
හදිසි ලැබීම් ඇතිවනු ඇත. ගෙදරින් පිට සිටීමට හේතුවන කරුණු කිහිපයක් ඇති වේ. අවිවේකීභාවය නිසා සිතේ සතුට සහනය අඩුවනු ඇත. ගමන්වලින් පීඩා ඇතිවනු ඇත.
ධනු - ආගමික කටයුතු
නව රැකියා අපේක්ෂාවෙන් සිටි අයට තම බලාපොරොත්තු ඉටුවනු ඇත. පවුලේ සමගියට බාධා ඇතිවේ. තමාට එරෙහිව තිබූ සතුරු බාධක දැනගැනීමට හැකිවේ. ආගමික කටයුත්තකට සහභාගී වීමට අවකාශ ලැබේ.

මකර - අනවශ්‍ය වියදම්
අවිවේකී කාල වකවානුවකි. පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන අතර නිතර පසුතැවීම්වලට ලක්වේ. අනවශ්‍ය වියදම් ඇතිවන බැවින් කල්පනාකාරීව වියදම් කිරීම් සිදුකළ යුතුවේ.
කුම්භ - විදේශගතවේ
තමාගේ කැපවීමෙන් උත්සාහයෙන් යුක්තව කටයුතු කිරීම තුළින් වැඩ කටයුතු රාශියක් ඉටුකර ගැනීමට හැකියාව අත්වනු ඇත. විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉටුවනු ඇත.
මීන - කෙටි ගමන්
අනවශ්‍ය වියදම් හේතුවෙන් තම තැන්පත් ධනය අඩුවන කාලයක් වේ. පුණ්‍ය කටයුතු සඳහා සහභාගී වේ. කෙටි ගමන් යෙදෙන අතර ඒ ආශ්‍රිතව හදිසි ගැටලු කරදර ඇතිවනු ඇත.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී ජ්‍යෙතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යෙතිෂ
පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල.