හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර ඖෂධයක්

හෘද රෝගීන්ට ක්ෂණිකව ප්‍රතිකාර කළ හැකි නව ඖෂධයක් මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

හෘදයාබාධයක් වැලඳී පැය තුනක කාලයක් ඇතුළත මෙම ඖෂධය ලබාදීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගත හැකි බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ඇමැතිවරයාට පෙන්වා දී ඇත. ඕනෑම රෝහලකදි හෝ ජංගම සායනයකදි මෙම ඖෂධය රෝගියාට ලබාදීමේ හැකියාව පවතින අතර එක් ඖෂධයක මිල රුපියල් 120,000 ක් පමණ වේ.

ඊට වඩා අඩු මුදලකට එම ඖෂධය මෙරටට ගෙන්වීම සඳහා සාකච්ඡා ආරම්භ කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා ඒ බව ප්‍රකාශ කළේය. හෘද සැත්කම් සඳහා අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදි දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වෛද්‍ය සැපයුම් අංශයෙන් නොමිලේ ස්ටෙන්ට් ලබාදී නොමැති නම් අවශ්‍ය ස්ටෙන්ට් දේශීයව මිලදී ගැනීම රෝහල් අධ්‍යක්ෂවරයාට මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.

අක්ෂි සැත්කම්වලට අවශ්‍ය කාච නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල හිඟයක් නොපවතින අතර නිදහස් සෞඛ්‍ය සේවාව අකුරටම ක්‍රියාත්මක කිරීම තම අරමුණ බවත් ඇමැතිවරයා කීය. ස්ටෙන්ට් සහ අක්ෂි කාච නොමිලේ ලබාදීමෙන් රෝගීන්ගේ පැමිණීම වැඩි වී ඇති බව සංගමයේ නියෝජිතයෝ මෙහිදී පැවැසූහ. කොළඹ ජොතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

හෘද රෝග ඒකකයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවට මාධ්‍ය මඟින් පළ වූ වාර්තා පිළිබඳව සාකච්ඡා කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් ලබාදෙන ලෙස වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දීම සිදු කළේය. මේ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, වෛද්‍ය සැපයීම් අංශයේ අධ්‍යක්ෂ ලාල් පනාපිටිය, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහත්වරු ඇතුළු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නිලධාරීහු සහභාගි වූහ.