බැඳුම්කර වංචාව ගැන පැමිණිල්ලක් කළා

මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක බව මහ බැංකුව පවසයි. ඊයේ (8දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මේ බව පැවැසීය. මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මාධ්‍යයන්ට කරුණු දැක්වූ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ මූල්‍ය මණ්ඩලයේ උපදෙස් අනුව බැඳුම්කර ගනුදෙනුවට අදාළව අභ්‍යන්තර පරීක්ෂණ දෙකක් සිදු කළ බවයි.

"අපේ වාර්තා අනුව මේ ගනුදෙනුව සම්බන්ධයෙන් යම් උල්ලංඝනයක් සිදු වී තිබෙන බව පෙනී යනවා. මේ නිසා මේ පිළිබඳව පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කළා. ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළා. දැන් පරීක්ෂණ කෙරීගෙන යනවා."

එහිදී මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේ එම ගනුදෙනුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගනුදෙනුද සීමා කර ඇති බවයි.