කුකුළු මස්‌ කට්‌ට හිරවී තිදරු පියා මියයයි

කුකුල් මස්‌ කටුවක්‌ හිරවී තිදරු පියෙකු මරුමුවට පත් වීමේ සිද්ධියක්‌ කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂණ උසාවියේ පැවැති සාක්‌ෂි විභාගයකදී අනාවරණය විය.

මෙලෙස මියගොස්‌ ඇත්තේ පාදුක්‌ක, වටරැක, ශ්‍රී සෝමරතන මාවතේ පදිංචිව සිටි ජයවීර මොහොප්පු ආරච්චිගේ ගුණතිලක (55) නමැති අයෙකි.

මේ සම්බන්ධ මරණ පරීක්‌ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා හමුවේ පැවැති අතර, එහිදී සාක්‌ෂි දුන් මියගිය අයගේ බාල සොහොයුරා වන ජයවීර මොහොප්පු ආරච්චිගේ උපුල් කුමාරතුංග (50) යන අය මෙසේ පැවැසීය.

"මියගොස්‌ සිටින්නේ මගේ අයියා. අයියා විවාහකයි. බිරිඳ පැමිණ සිටිනවා. අයියාට දරුවෝ තුන් දෙනෙක්‌ ඉන්නවා. අයියා ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළා.

2017/01/01 වැනිදා අපේ අම්මාගේ මහගෙදර දහවල් 3.00 ට විතර පවුලේ ඔක්‌කොම එකතු වෙලා කෑම කෑවා. ගෙදර කට්‌ටිය 25 ක්‌ 30 ක්‌ විතර හිටියා. මේ තිබුණේ අලුත් අවුරුදු පාටියක්‌. එතැන අම්මත් හිටියා.

අපි සේරම බත් කකා ඉන්න කොට අයියාට එක පාරටම උගුර හිර වුණා. ඒ නිසා අමාරුවෙන් සිටියේ. මේ නිසා අපි අයියාගේ කටට බත් ගුලියක්‌ දැම්මා. කෙසෙල් කෑල්ලකුත් කටට දැම්මා. නමුත් හිර වෙච්ච දේ ඇතුළට ගියේ නැහැ. කුකුල් මස්‌ කටුවක්‌ අයියාගේ උගුරේ හිර වී තිබුණා.

ඔහු කන්න බොන්න අමාරුවෙන් සිටියේ. අයියාව පුද්ගලික තැනකට අරන් ගිහින් එක්‌ස්‌රේ ගත්තා. මොකවත් පෙනුණේ නැහැ. අයියාට මස්‌ කටුවක්‌ හිර වී නොමැති බව එතැනින් කිව්වා.

යළි පහුවදා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තා. එහි දොස්‌තර මහත්තයා බලලා මස්‌ කටු කෑල්ලක්‌ මොකවත් හිරවෙලා නැහැ කියලා බෙහෙත් දුන්නා. සතියක්‌ තිස්‌සේ අයියා බෙහෙත් බිව්වා. නමුත් අයියා සුමානෙම අමාරුවෙන් කෑම කෑවේ.

10 දා සවස ප්‍රධාන පෞද්ගලික රෝහලට දොස්‌තර මහත්තයකුට අයියාව පෙන්වන්න එක්‌ කරගෙන ගියා. ආපහු අයියාට බෙහෙත් දුන්නා. ස්‌කෑන් එකක්‌ කරන්න කියලත් ලියලා දුන්නා.

ඊට පසු අපි ගෙදර ගියා. ඊයේ රෑ අයියා ගෙදරදී කෑම කෑවා. එතකොට අයියාට ක්‌ලාන්තයක්‌ ආවා. අනතුරුව ඔහුට වමනය ගියා. ගොඩක්‌ ලේ වමනය ගියා. දෙතුන් පාරක්‌ විතර ගියා. පසුව අපි අයියාව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා. අයියාව හතේ වාට්‌ටුවට ඇතුළත් කළා. පසුව ඔහුට ලේ දුන්නා. ඔහු ටිකක්‌ හොඳයි උගුර රිදෙන බව කිව්වා. ආයෙත් ඔහුට ලේ වමනය ගියා 11 දා උදේ 9.00 ට විතර අයියා මියගියා.

කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. වාසුතේවා මහතා විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය පවත්වන ලද අතර, ඉදිරිපත් වූ සාක්‌ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික හදිසි මරණ පරීක්‌ෂක අෂ්රµa රූමි මහතා මෙම මරණය කුකුල් මස්‌ කටුවක්‌ හිරවී බඩවැලට හානි සිදු වීමෙන් අධික ලෙස රුධිරය ගැලීම හා කම්පනයට පත් වීම හේතුවෙන් වූ මරණයක්‌ බවට නිගමනය කළේය.

මරදාන පොලිසියේ පොලිස්‌ කොස්‌තාපල් මර්වින් (31474) සහ පොලිස්‌ සැරයන් ලාල් පතිරණ (27689) යන නිලධාරීහු මෙහිදී සාක්‌ෂි මෙහෙයවූහ.