පියංකර තවමත් රාජ්‍ය ඇමැති අසුනේ

රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට නිල දැනුම් දීමක් නොමැතිවීම හේතුවෙන් පියංකර ජයරත්න මහතාට පාර්ලිමේන්තුවේ ඊයේ (09) දිනයේත් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ අසුන් පෙළෙහිම අසුන් පනවා තිබිණ.
පසුගිය 30 වැනිදා පියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ අතර මේ වන විට ඔහුගේ ආරක්ෂාවද අඩු කර තිබේ.

දැනට පියංකර ජයරත්න මහතාට ලබාදී ඇත්තේ මන්ත්‍රී ආරක්ෂාව වන අතර ඇමැති ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ලබා දී ඇත.

මීට පෙර පියංකර ජයරත්න රාජ්‍ය ඇමැතිවරයාට ඇමැති ආරක්ෂක නිලධාරීන් හය දෙනකුගේ ආරක්ෂාවක් ලබා දී තිබුණි.

මන්ත්‍රීවරයකු ලෙස ආණ්ඩුවේ සිටි ඔහු පාර්ලිමේන්තුවේ ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුව ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රී අසුනක් හිමි විය යුතු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසීය.

එහෙත් තමාට විපක්ෂයේ අසුනක් ලබාදෙන ලෙස පියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ.

පියංකර ජයරත්න මහතා ඇමැතිකමින් අස්වූ බවට පාර්ලිමේන්තුව වෙත නිල දැනුම් දීමක් ලැබෙන තෙක් ඔහුගේ ආසනය වෙනස් කිරීමට නොහැකි බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග කීවේය.