ජේම්ස් පැකර් යළි පැමිණෙයි

ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන ක්‍රවුන් කැසිනෝ සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජෙම්ස් පැකර් ඩොලර් මිලියන457ක වටිනාකමකින් යුතු සුපිරි පහසුකම්වලින් සමන්විත ක්‍රවුන් හෝටලයේ ආයෝජනය සමඟ නැවතත් මෙරටට පැමිණීම සඳහා එකඟතාව පළ කර ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී ජෙම්ස් පැකර් අදාළ ව්‍යාපෘතිය සමඟ මෙරට ආයෝජනය සඳහා පැමිණීමට සූදානම්ව සිටියත් රට තුළ මතු වූ විරෝධතා හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි විය.

වාර්තා වන ආකාරයට ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනකු සමඟ සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව ඇති කරගත් එකඟතාව මත නැවත මෙරට ආයෝජන කිරීම සඳහා පැකර් සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර මීට පෙර අත්හැර දැමුණු මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතිය අනුමත කර ගැනීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කෙරෙන තෙක් දැනට දේශීය පවතින කැසිනෝ බලපත්‍ර උපයෝගී කරගෙන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මීට පෙර අදාළ ආයෝජනය සඳහා වෙන් කරගෙන තිබූ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පර්චස්500 බිම් කොටස තුළ මහල් 36 කින් සමන්විත ‘කොළඹ ක්‍රවුන්’ නම් අතිසුඛෝපභෝගී හෝටලය ආයෝජන මණ්ඩලය යටතේ සිදු කරන ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතව ඇති අතර පැකර්ගේ මෙවර ආගමනය සඳහා ද දේශීය ව්‍යාපාරික සහකරු වශයෙන් රෑන්ක් හෝල්ඩිංගස් සමූහයේ අධිපති කෝටිපති ව්‍යාපාරික රවී විජේරත්න ම කටයුතු කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
සංජය ලියනගේ