උපවාස කළ සිල් මාතාව රෝහල් ගත කරලා!

සිය අනන්‍යතාව හෙළි නොකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පෙරේදා (23දා) මධ්‍යම රාත්‍රියට ආසන්නව මහනුවර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මාරාන්තික උපවාසයක් ආරම්භ කළ දස සිල් මාතාව එය ක්‍රියාත්මක කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ සම්බන්ධතාවක් මත බවට පොලිසියට කරුණු වාර්තා වී ඇත.

යහපාලන රජය පාලන බලය අත්හරින තුරු මේ මාරාන්තික උපවාසය සිදු කරන බව පවසන දසසිල් මාතාව සිය අනන්‍යතාව හෙළි කිරීම ප්‍රතික්‍ෂේප කරමින් උපවාසය ආරම්භ කෙළේ ඉකුත් 22දා පෙරවරුවේය.

දසසිල් මාතාව ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි බවට ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කර තිබේ. උපවාසය අතරතුර සිල්මාතාව ලබා ගත් දුරකතන ඇමැතුමක් ඔස්සේ පරීක්ෂණ සිදු කළ පොලිසිය මෑණියන් හා පිවිතුරු හෙළ උරුමය අතර යම් සබඳතාවක් පවතින බවට කරුණු හෙළි කරගෙන ඇත.

දින දෙකක් නිරාහාරව සිටින සිල්මාතාවගේ සෞඛ්‍ය තත්ත්වය මහනුවර මහ රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් පෙරේදා (23දා) දහවල් පරීක්ෂා කර බැලීමෙන් පසු රෝහල් ගත වන ලෙස උපදෙස් දුන්නත් සිල්මාතාව එය ප්‍රතික්‍ෂේප කළ අතර පසුව රෝහල් ගත කොට තිබේ.

අනන්‍යතාව සම්බන්ධ කළ විමසීමකදී සිල්මාතාව පැවැසුවේ තමන්ගෙන් පෞද්ගලික කරුණු කිසිවක් නොවිමසන ලෙසයි.