මා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා

වත්මන් දේශපාලනය ගැන කලකිරීම නිසා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් මෙම සති අන්තයේ කැඳවා ඇති හොරණ ආසන බල මණ්‌ඩලයේ අදහස අනුව තමාගේ තීරණය ක්‍රියාත්මක කරන බවත් කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඊයේ (9 දා) ප්‍රකාශ කළේය.

දේශපාලනය එපා වීම නිසා සමු ගැනීමට සූදානමින් සිටින්නේ දැයි මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විදුර වික්‍රමනායක මහතා මෙසේද කීය. වර්තමාන ආණ්‌ඩුවෙත් විපක්‌ෂයෙත් දේශපාලනය ගැන මං සිටින්නේ කලකිරීමෙන්. තවදුරටත් වර්තමාන දේශපාලනය තුළ රැඳී සිටීම ගැටලුවකි. මා මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමට තීරණය කළා. මගේ තීරණය මේ සති අන්තයේ ආසන බල මණ්‌ඩලය කැඳවා දැනුම් දෙනවා. ඒ අනුව මා ගත් තීරණය ක්‍රියාත්මක කරනවා.

මගේ තාත්තා ජීවත්ව සිටියදී ඔහු සමඟද මේ පිළිබඳව කතා කළා. තාත්තාද මා මෙම තීන්දුව ගන්නවාට කැමැත්තෙන් සිටියා. දේශපාලන බල මණ්‌ඩලයේ තීන්දුව අනුව මා අලුත් ජනතා පෙළ ගැස්‌මකට නායකත්වය දෙනවා. ඒ සඳහා සියලු බලවේග ඒකරාශි කරනවා.

අර පැත්තට මේ පැත්තට පැනලා දේශපාලනය කරන්න මා පුරුදු වෙලා සිටියේ නැහැ. අනාගතයේදීත් එවැනි වරප්‍රසාද මත මගේ දේශපාලනය තීන්දු කරන්නේ නැහැ. මේ සති අන්තයේදී ශ්‍රීලනිප ආසන බල මණ්‌ඩලයේදී ගන්නා තීන්දුව නියත වශයෙන්ම ක්‍රියාත්මක කරනවා."