මිනිසුන් වැඩිපුරම මැරෙන හේතු

විවිධ හේතු නිසා මිනිසුන් මිය යන බව සැබෑවකි. එහෙත්, මිනිසුන් වැඩිපුරම මිය යන්නේ කුමන කාරණා නිසාදැයි කියා ඔබ කිසියම් දිනයෙක සිතුවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට ලෝකයේ සිදුවන මනුෂ්‍ය මරණවලින් 68%කටම හේතු වී තිබෙන්නේ බෝ නොවන රෝග ය. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව සහ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව බව වාර්තා වේ. 

බෝවන රෝග නිසා මියයන සංඛ්‍යාව 23%ක් පමණ වන බව පැවසේ. තවත් 9%ක පිරිසක් ජීවිතක්ෂයට පත් වන්නේ තුවාල ලැබීම් නිසා ය. මේ සමඟ අප ඔබට කියන්නට සූදානම් වන්නේ, ලොව පුරා මිනිසුන් වැඩිපුරම බිල්ලට ගන්නේ කවර රෝග තත්ත්වයන් ද යන්න ය.

1. හෘදයාබාධ

ලොව පුරා වැඩි ම පිරිසකට මරු කැඳවන්නේ හෘද රෝගයි. හෘද රෝග යැයි කී විට විවිධ තරාතිරමේ හෘද රෝග ඇත. කිරීටක ධමනියේ ඇතිවන අවහිරතා, ආඝාත තත්ත්ව, හෘදය දුර්වලවීම, අධික රුධිර පීඩනය නිසා ඇතිවන රෝග, රුමැටික හෘද රෝග, හෘත් පේශීවල ඇති වන රෝග තත්ත්ව, උපතින්ම හෘදයේ ඇතිවන රෝගී තත්ත්ව, හෘත් කපාටවල ඇතිවන රෝග තත්ත්ව, රුධිර වාහිනී තුළ රුධිර කැටි ඇතිවීම ආදිය ඉන් සමහරෙකි. අප සරලව හෘදයාබාධයක් යැයි කියා කීවාට, එයින් අරුත් ගැන්වෙන රෝග විශාල සංඛ්‍යාවක් ඇති බව ඔබට මෙයින් පෙනී යනු ඇත. 1990 වසරේදී ලෝක ජනගහනයෙන් මිලියන 12.3කුත්, 2013 වසරේදී ලෝක ජනගහනයෙන් මිලියන 17.3කුත් ජීවිතක්ෂයට පත්වුණේ මේ ආකාරයේ හෘදයාබාධ නිසා ය. මේ සංඛ්‍ය ලේඛනවලින් පෙනී යන්නේ, හෘද රෝග නිසා මියයන සංඛ්‍යාව කාලයත් සමඟ වැඩි වන බවකි.

2. පිළිකා

මනුෂ්‍යයන් මරණය කරා රැගෙන යන දෙවැනි වැදගත්ම සාධකය පිළිකා ය. පිළිකා වර්ග රැසකි.

පෙනහළු, ප්‍රොස්ටේට් ග්‍රන්ථි සහ අන්ත්‍ර ආශ්‍රිතව ඇතිවන පිළිකා ඒ අතර ප්‍රධාන ය.

ඒත්, කාන්තාවන් අතර පියයුරු පිළිකාත්, ගැබ් ගෙල පිළිකාත් වඩාත් බහුලව දක්නට පුළුවන. පිළිකාවක් වැළඳුණු විට එය නිට්ටාවටම සුව කිරීමට උපකාරී වන ප්‍රතිකාර ක්‍රම මිනිසා තවමත් සොයාගෙන නැත. ඒ වුණත්, පිළිකාමය තත්ත්වයක් ගැන දැනගත් විට එය තව දුරටත් පැතිර යාම පාලනය කළ හැකි දියුණු ප්‍රතිකාර ක්‍රම මේ වනවිටත් භාවිතයට ගැනේ.

විකිරණශීලිතාවට නිරාවරණය කිරීම, ශල්‍යකර්ම සිදු කිරීම, කිමෝතෙරපි ප්‍රතිකාරය ලබාදීම ඉන් සමහරෙකි. මේ කුමන ප්‍රතිකාර ක්‍රමය පිළිකා රෝගීන්ට ලබා දුන්නත්, පිළිකා නිසා වාර්ෂිකව මියයන සංඛ්‍යාව අදටත් ඉහළ මට්ටමක ඇත. පුද්ගලයන් මිලියන 14.1කට පිළිකා වැළඳී ඇතැයි කියා 2012 වසරේදී අනාවරණය කරගත හැකි විණ. ඒ වසරේදී පුද්ගලයෝ මිලියන 8.2ක් හෙවත් පිළිකා රෝගීන්ගෙන් 14.6%ක් ජීවිතක්ෂයට පත් වූහ.

3. ආඝාත තත්ත්වය

ආඝාත තත්ත්වයන්ට මුහුණ දෙන දියුණු රටවල වෙසෙන පුද්ගලයන් සංඛ්‍යාව 1990 වසරේ සිට 2010 වසර දක්වා වූ කාලය තුළදී 10%කින් පමණ අඩු වී ඇතැයි සඳහන් වේ. එහෙත්, එකී කාල පරිච්ඡේදය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන පුද්ගලයන් ආඝාත තත්ත්වයන්ට මුහුණදීම 10%කින් පමණ වැඩි වී ඇත.

2013 වසරේදී ආඝාත තත්ත්වය නිසා ලෝ පුරා මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 6.4ක් පමණ විය. ඒ අනුව එකී වසරේදී සිදුවුණු මරණවලින් 12%ක් පමණම සිදුව ඇත්තේ ආඝාත තත්ත්ව නිසා ය. එම ආඝාත තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් අයවළුන්ගෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන් බව වාර්තාවල දැක්වේ.

4. ශ්වසන රෝග

ශ්වසන රෝග ඉතා පුළුල් පරාසයක විහිදී ඇත. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු විට ඇතිවන ශ්වසන අපහසුතාවල සිට, පෙනහළු පිළිකා දක්වා තත්ත්ව ඊට ඇතුළත් ය. එහෙත්, මේ පරාසය තුළ ඇති නියුමෝනියාව, පෙනහළු අවහිරවීම්, ක්ෂය රෝගය, උග්‍ර ඇදුම, පෙනහළු පිළිකා යන තත්ත්ව මිනිසාට මරණය කැඳවන්නට සමත් ශ්වසන රෝග බව සඳහන් වේ. 2012 වසරේදී ලෝක ජනගහනයෙන් මිලියන 3.1ක පමණ පිරිසක් ශ්වසන රෝගවලින් ජීවිතක්ෂයට පත්වූහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලින් අනාවරණය වන අන්දමට, අවුරුදු 15ට අඩු වයස් කාණ්ඩයේ සිටින ශ්වසන රෝගී දරුවන් සිය දෙනකුගෙන් එක් අයකුම මරුමුවට පත් වේ.

5. දියවැඩියාව

පසුගිය තිස් වසරක කාලය තුළ දී දියවැඩියාවට ගොදුරුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ලොව පුරා සිටින දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන 422 ඉක්මවා ඉහළ ගොස් තිබේ.

දියවැඩියාව නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද ඒ සමඟම ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී. 2012 වසරේදී සිදුවුණු පුද්ගල මරණවලින් මිලියන 1.5කටම ඍජු හේතුව වී තිබුණේ දියවැඩියාව ය. තවත් මරණ මිලියන 2.2ක් ඒ වසරේදී සිදුව තිබුණේ දියවැඩියාව නිසා හටගත් හෘදයාබාධ සහ අනෙකුත් රෝග තත්ත්ව නිසා ය. මිනිසුන් තමන්ගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් නොවීම හේතුවෙන් මතුවන මෙවැනි ගැටලු නිසා, දියවැඩියාව මර්දනය කිරීම අද වනවිට දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.

2014 වසරේදී ගෝලීය ආර්ථිකයෙන් අමෙරිකා ඩොලර් බිලියන 612කට අධික මුදලක් දියවැඩියා රෝගය සම්බන්ධ කටයුතු සඳහා වැය කෙරී ඇත. 2012 වසරේදී ගෝලීය ආර්ථිකයෙන් ඊට වැයවුණු මුදල අමෙරිකා ඩොලර් බිලියන 245කි.

6. එච්.අයි වී /ඒඩ්ස්

2012 සහ 2013 වසරවලදී පුද්ගලයන් මිලියන 1.5ක් මිය ගොස් තිබෙන්නේ එච්.අයි.වී./ඒඩ්ස් නිසා යැයි කියා ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 2015 වසර වනවිට වෛරසය ශරීරගත වූවන්ගේ සංඛ්‍යාව මිලියන 36.7 දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තාවේ. එච්.අයි.වී./ඒඩ්ස්වලට ගොදුරුවන රෝගීන් සංඛ්‍යාව වැඩි වනවිට සිදුවන මරණ සංඛ්‍යාවත් අනුක්‍රමයෙන් ඉහළ යයි. එච්.අයි.වී./ඒඩ්ස් ආසාදිතයන් අතර වයස අවුරුදු 15ට අඩු දරුවන් මිලියන 1.8කට අධික ප්‍රමාණයක් සිටින බවත් අප අමතක නොකළ යුතුව ඇත. ඒ වගේම සෑම පැයකට වරක්ම නිරෝගී පුද්ගලයන් 240 දෙනකුට එච්.එයි.වී. ශරීරගත වේ. මේ තත්ත්වය තුළ ලොව වැඩිම පිරිසක් එච්.අයි.වී./ඒඩ්ස් නිසා ජීවිතක්ෂයට පත්වන දවස වැඩි ඈතක නොවන බව අප වටහා ගත යුතුව ඇත.

7. පාචනය

දරුවන් වැඩි පිරිසක් මරණයට පත්වන්නේ පාචන තත්ත්ව හේතුවෙනි. ලෝක සංවිධාන ප්‍රකාශ කරන්නේ දිනකට දරුවන් 2,195දෙනෙකු පාචනය නිසා මිය යන බවකි.

එය ඒඩ්ස්, මැලේරියාව සහ සරම්ප යන රෝග තුන නිසා දිනකට මියයන දරුවන් සංඛ්‍යාව ඉක්මවා යන තත්ත්වයක් බවත් අනාවරණය වී ඇත. 2012 වසරේදී පාචනය හේතුවෙන් ලෝකය පුරා විවිධ රටවල සිටින මිලියන 1.5කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මේ සා විශාල පිරිසක් පාචනයෙන් මරුමුවට පත් වන්නේ සෞඛ්‍ය පහසුකම් මඳකම, සනීපාරක්ෂක පහසුකම්වල හිඟකම, පිරිසුදු පානීය ජලය නොලැබී යාම යන කාරණා මුල් කරගෙන ය . වඩාත් කනගාටුදායකම තත්ත්වය, පාචන තත්ත්ව ඉතා ඉක්මනින් පැතිර යන්නට ඇති ඉඩකඩ වැඩිවීම ය. එය සිදු වන්නේ පුද්ගලයන් භාවිතයට ගන්නා ආහාර සහ පාන වර්ග, භාජන යනාදිය පාචනය ඇතිකරන රෝගකාරක සහිත මළවලින් දූෂ්‍යය වීම හේතු කරගෙන ය. මේ නිසා වසරකට බිලියන 2.5ක පමණ පිරිසක් පාචන තත්ත්වයන්ට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දකුණු ආසියාතික සහ අප්‍රිකා කලාපවල වෙසෙන වැඩි ප්‍රමාණයක් මේ අන්දමට පාචනයට ගොදුරුවන බවත් දැනගන්නට තිබේ.

8. හදිසි අනතුරු (චේතනාත්මකව සිදු නොවන තුවාල ලැබීම්)

සැලැසුම් නොකළ අනතුරු හේතුවෙන් වාර්ෂිකව ලෝ පුරා මිය යන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝ පුරා සිදුවුණු වාහන අනතුරු නිසා පමණක් 2013 වසරේදී පුද්ගලයෝ මිලියන 1.3කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

විවිධ අනතුරු නිසා වන මරණවලින් 80%ක් පමණම සිදුවන්නේ අඩු ආදායම් ලබන සහ මධ්‍යම ප්‍රමාණයේ ආදයමක් ලබන රටවල ය. චේතනාත්මකව සිදු නොකෙරෙන මේ අනතුරවලින් වැඩි වශයෙන්ම මරණීය තුවාල ලබන්නේ වයස අවුරුදු 65 ඉක්ම වූ පුද්ගලයන් බව තහවුරුව ඇත. එබඳු අනතුරු නිසා තුවාල ලබන තවත් මිලියන 37.3ක් පමණ විවිධ පරිමාණයේ වෛද්‍යය ප්‍රතිකාර ක්‍රමවලට නිරාවරණය වන බවත් අප අමතක කළ යුතු නැත.

රිය අනතුරු, වැටීම්, වැඩ බිම්වල ඇතිවන අනතුරු, ක්‍රීඩා ආදී විනෝද කටයුතුවලදී සිදුවන අනතුරු, පාරිසරික හේතුන් මත සිදුවන අනතුරු, තෙරපීම් ආදිය මෙයට ඇතුළත් ය. මෙවැනි අනතුරු නිසා ඍජුවම තුවාල ලැබීම්, විෂ ශරීරගතවීම්, පිළිස්සීම්, තියුණු ආයුධවලින් කැපුම් කෙටුම් ඇතිවීම, විදුලි සැර වැදීම් යනාදිය සිදුවන්නට පුළුවන.

9. ඇල්ෂයිමර් රෝගය

මෙය අමතකවීම ඇති කරන්නට හේතුවන රෝගයක් ලෙස හැඳින්වේ. රෝගයට ගොදුරු වුණු මුල් අවධිවලදී රෝගියා තුළ කෙටිකාලීන මතකය නැතිවී යාම බහුලව සිදුවන බව පැවසේ. සිහි විකල් වීම, කෝපය, චිත්ත ස්වභාවයේ වන වෙනස්වීම්, කථා කරන භාෂාවේ සිදුවන වෙනස්වීම්, දීර්ඝ කාලීන මතකය නොමැතිවීම සහ අවට සමාජයෙන් වෙන්වී සිටීම යන ලක්ෂණ පසු කාලීනව රෝගියා කෙරෙන් දිස්වේ. ඇල්ෂයිමර් රෝගය වැළඳුනු අයකු මරණයට පත්වන තුරුම, ඔහුගේ හෝ ඇයගේ හෝ දේහ ක්‍රියාකාරීත්වය දුර්වල වී , අකර්මන්‍ය වීම සිදු වන බව සාමාන්‍යය දෙයකි. මේ රෝග ලක්ෂණ බහුලව දක්නට ලැබුණත්, එක් එක් රෝගීන්ට ආවේනික වූ රෝග ලක්ෂණ ඇත.

රෝගය සාමාන්‍යයෙන් වසර 5 සිට 20 දක්වා වූ කාලයක් පුරා පැවතිය හැකි ය. පසුගිය වසරේදී මේ රෝගයට ගොදුරු වුණු පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 48ක් බව වාර්තාවල දැක්වේ. 2030 වන විට ඇල්ෂයිමර් රෝගයට ගොදුරුවන සංඛ්‍යාව මිලියන 74.7 දක්වාත්, 2050දී ඒ සංඛ්‍යාව මිලියන 131.5 දක්වාත් වැඩිවනු ඇති බවට ගණන් බලා තිබේ.

10. වකුගඩු රෝග

වකුගඩු රෝග නිසා මිය යන රෝගීන් සංඛ්‍යාවත් මෑතක සිට වැඩි වන්නට පටන් ගෙන තිබේ. වකුගඩු රෝග ඇති වන්නට විවිධ කාරණා බලපාන නිසා, වකුගඩු රෝගයෙන් මියයන පුද්ගලයන් හරියටම ඒ යටතේ ගණන් නොගැනෙන අවස්ථා ඇත. එහෙත්, ලෝක සංවිධාන පෙන්වා දෙන්නේ, ලෝක ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගවලින් පෙළෙන බවකි. ගෝලීය දැවෙන රෝග පිළිබඳ අධ්‍යයනය 2010 වසරේදී වකුගඩු රෝග සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේ ය.

1990 වසරේදී වකුගඩු රෝගයන් පෙළුණු සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් 2010 වසර වනවිට වකුගඩු රෝගයෙන් පෙළන බව එහි විද්‍යාඥයෝ එවර පෙන්වා දුන්හ.

අද වනවිට මිලියන දෙකකට ආසන්න වකුගඩු රෝගීන් පිරිසක් ජීවත් වන්නේ රුධිර කාන්දු පෙරණයට හෝ වකුගඩු බද්ධවලට හෝ පින්සිදු වන්නට ය. මේ වනවිට පවත්නා තත්ත්වය සැලකිල්ලට ගත් විට පෙනී යන්නේ, සංවර්ධනය වෙමින් පවත්නා රටවල ජීවත් වන පුද්ගලයන් අතර වකුගඩු රෝග වැඩිවන ප්‍රවණතාවකි. විශේෂයෙන්ම, ඉන්දියාව, චීනය ආදී රටවල වැසියන් වකුගඩු රෝගවලට ගොදුරුවීම ශීඝ්‍රයෙන් වැඩිවෙමින් ඇත.