ගංජා සමග ප්‍රබල දේශපාලකයකුගේ පුතකු අත්අඩංගුවට

මත්තෙගොඩ නිවාස සංකීර්ණයට යාබදව පිහිටි කර්මාන්ත ශාලා දෙකක සේවකයන් ඉලක්‌ක කර පවත්වා ගෙන ගිය ගංජා අලෙවි මධ්‍යස්‌ථානයක්‌ වැටලූ කහතුඩුව පොලිසිය එම මධ්‍යස්‌ථානය පවත්වාගෙන ගිය බවට සැකකරන ප්‍රබල දේශපාලකයකුගේ පුතකු හා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගේ පුතකු ඇතුළු සැකකරුවන් හත්දෙනකු ගංජා කිලෝ ග්‍රෑම් 10 ක්‌ සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත ඉකුත් 19 වැනිදා සිදුකළ මෙම වැටලීමෙන් අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 24 ත් අතර වයස්‌ කාණ්‌ඩවල පසුවන්නන්ය.
ඔවුන් දෙහිවල, පිළියන්දල, මත්තෙගොඩ, වලස්‌මුල්ල, උඩමහදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හෙළිවිණැයි පොලිසිය කියයි.

කහතුඩුව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක චන්දන ජයනාත් මහතාගේ උපදෙස්‌ මත මත්තෙගොඩ පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති උ. පො. ප. අනුර සම්පත් මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවයි.