ජයලලිතා නිසා 77ක් මියයති

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ අභාවයෙන් කම්පාවට පත් වුණු පුද්ගලයන් 77 දෙනෙකු මේ වන විට මරණයට පත්වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ජයලලිතා ජීවිතක්ෂයට පත්වුණු බව අසා සියදිවිනසාගත් පුද්ගලයන්ට අමතරව ඇය බරපතල ලෙස රෝගාතුර වුණු බව හා ඇය මරණයට පත් වුණු බව දැන කම්පනයට පත්වීමෙන් එම මරණ සිදුවී ඇත.

එසේ ජීවිතක්ෂයට පත්වුණු පුද්ගලයන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ තුන බැගින් වන්දි ප‍්‍රදානය කිරීමට ජයලලිතා නායකත්වය දැරූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIAMDK) පක්ෂය තීරණ කර තිබේ.

එයට අමතරව ජයලලිතාගේ මරණයෙන් කම්පාවට පත්වී සියදිවිනසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන්ට රුපියල් පනස් දහස බැගින් පිරිනැමීමටද එම පක්ෂය තීරණය කර ඇත.

එසේ සියදිවිනසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයන් අතර ජයලලිතාගේ මරණය අසා ශෝකය දරා ගැනීමට නොහැකිව අතක ඇඟිල්ලක් කපා ගත් පුද්ගලයෙක්ද සිටියි.

මෙම මියගිය පිරිස් වයස අවුරුදු 25ත් 80ත් අතර පිරිස් බවත් 62 දෙනකු මියගොස් ඇත්තේ කම්පනයත් සමග හෘදයාබාධයන්ට ලක්වීමෙන් බවත් තවත් හත්දෙනකු වසපානය, ගිනිතබා ගැනීම් ගෙල වැලලා ගැනීම් සහ ළිඳේ පැනීම්වලින් දිවි අහිමි කරගෙන තිබෙන බවත් වාර්තා කරයි.

මේ අනුව තමිල්නාඩුවේ කඩලූර් දිස්ත්‍රික්කයේ 2ක්, විලම්පුරම් දිස්ත්‍රික්කයේ 2ක්, කාංචිපුරම් දිස්ත්‍රික්කයේ 2ක්, තිරුවල්ලූර් දිස්ත්‍රික්කයේ 5ක්, වේලුර් 3ක්, තිරුවන්නාමලෙයි 2ක්, තංජෙයි හා නාගෙයි 2ක්, පුදුක්කෝට්ටෙයි 4ක්, පෙරම්බලූර්හි 2ක්, තිර්ච්චිහි 5ක්, සේලෙයිහි 7ක්, ධර්මපුරි 4ක්, ක්‍රිෂ්ණගිරි 8ක්, නාමකල්ලිහි 2ක්,ඊරෝඞ් 3ක්, ගෝවෙයි 3ක්, තේනි 4ක්, විරුනුනගර්හි 3ක්, නෙල්ලෙයි 4ක්, කුමාරිහි 2ක්, පුදුවෙයි 1ක් වශයෙන් හැත්තෑදෙනකු මෙලෙස මරණයට පත්ව ඇත.

මේ අතර ජයලලිතාව මිහිදන් කළ මරීනා වෙරළ තීරයට පැමිණි ඇයගේ පක්ෂ කි‍්‍රයාකරුවන් සිය ගණනක් ඇයට ගෞරවය දැක්වීම වශයෙන් හිස මුඩු කරගනිමින් සිටිති.
එෆ්. අස්ලම්