ISIS සංවිධානයේ ශ්‍රී ලාංකිකයෝ නැහැ

ISIS සංවිධානයේ ශ්‍රී ලාංකිකයෝ නැහැ
ශ්‍රී ලංකාවේ කිසිදු පුද්ගලයකු අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌ත සංවිධානයට සම්බන්ධවී කටයුතු නොකරන බව මෙරට ආරක්‍ෂක වාර්තා තහවුරු කර ඇතැයි කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ඊයේ (23 වැනිදා) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු අයි. එස්‌. අයි. එස්‌. ත්‍රස්‌ත සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති බවට පසුගිය දිනවල පළවූ වාර්තා සහ ප්‍රකාශ අසත්‍ය බවද එම සංවිධානයේ කිසිවෙකු මෙරටට පැමිණ ප්‍රචාරක කටයුතුවල හෝ දේශන කටයුතු වලට සහභාගි වී ඇති බවට තොරතුරු වාර්තා වී නැතැයිද ඇමැතිවරයා කීය.

එවැනි අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීමෙන් ඔවුන්ගේ ජාතීන් අතර ගැටලු මතුවන බවත් කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා පාර්ලිමේන්තුවේ ඊයේ (23 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ ශ්‍රී ලාංකිකයන් සිටින බවට ප්‍රකාශ කළේ විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා බව මාධ්‍යවේදියකු ප්‍රකාශ කළ විට රාජිත සේනාරත්න ඇමැතිවරයා කීවේ විජයදාස රාජපක්‍ෂ මහතා එවැන්නක්‌ පැවැසුවේ කුමක්‌ නිසා දැයි තමන් නොදන්නා බවයි. ඔහුට ඇතැම් විට වැරදි තොරතුරක්‌ ලැබෙන්නට ඇති බවත් එහෙත් තමන් ආරක්‍ෂක අංශ ලබාදුන් තොරතුරු මත මෙසේ ප්‍රකාශ කර සිටින බවත් කැබිනට්‌ ප්‍රකාශකවරයා කීය.