ජපානයේ ‘උදා වන සූර්යයා’ සම්මානය කථානායකට

කථානායක
ජපන් රජය විසින් ‍අන්තර්ජාතික සම්බන්ධතා, සංස්කෘතික ප්‍රවර්ධනය, සුබසාධනය, සංවර්ධනය යනාදී ක්ෂේත්‍රයන් තුළින් විශිෂ්ටතම සේවාවක් ඉටු කළ පුද්ගලයන් උදෙසා පුද කරන උසස්ම සම්මානය වන 'උදාවන සූර්යයා' ගෞරව සම්මානය කථානායක කරු ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය කර ඇත. 

1875 මෙයිජි අධිරාජ සමයේ ස්ථාපනය කරන ලද මෙම සම්මානය පුද කිරීම එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ජපන් රජය විසින් සිදු කර‍නුයේ සිය රටෙන් පිරිනමන උසස්ම සම්මාන පිරිනැමීම ලෙසය.

දෙවන ලෝක යුද්ධ සමයට පෙර 'නැගී එන සූර්යයා' සම්මානය විශිෂ්ටතම හමුදා නිලධාරීන් උදෙසා පිරිනැමුණු අතර, වර්තමා‍නයේ දී එය අනෙකුත් ක්ෂේත්‍රයන් ද ඇගයීමට ලක් කරයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ජපානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමෙහි ලා ලබා දුන් දායකත්වය පිළිගැනීමට ලක් කිරීම ද මෙහි දී සැලකිල්ලට ලක්ව ඇති අතර, ජපන් රජය විසින් එය නිල වශයෙන් නිවේදනය කෙරුණේ 2016-නොවැම්බර් මස 03 වන දාය.

කරු ජයසූරිය මහතා දේශපාලනයට පිවිසීමට පෙර වසර 32 ක කාලයක් පුද්ගලික අංශයේ සේවය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු ලෙස ජපානය සමඟ ව්‍යාපාරික සබඳතා සිදු කරන අතර ජපානය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාවට දියුණුවිය හැකිය යන අදහස ශක්තිමත් කළ බව ද ද්විපාර්ශවික සබදතා ප්‍රවර්ධනය උදෙසා කරන ලද සේවයද 2001 වසරේ දී ශ්‍රී ලංකා ජපන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ස්ථාපනය කරන ලද අවස්ථාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් එයට බැඳී පසුව 2002 සිට 2004 දක්වා එහි සභාපති වශයෙන් සේවය කිරීම ද එම ධූර කාලය තුළ ජපානය සමග පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කළ බව ද මෙහිදී ජපන් රජය සදහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ කථානයක වශයෙන් තේරී පත් වීමට පෙර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් සිය විෂය පථයට ගැනෙන ව්‍යාපෘති සදහා ජපන් සහාය ලබා ගනිමින් සහයෝගයෙන් කටයුතු කළ බව ද මෙහිදී පෙන්වා දී ඇත.අද(8) පැවැත්වෙන සම්මාන ප්‍රධානොත්සවය සඳහා කථානායකතුමන් සහභාගී වීමට සිටි අතර, සිය කණිටු දියණියගේ අභාවය හේතුවෙන් ඊට සහභාගී නොවන නමුත්, එතුමන් නමින් සම්මානය පිරිනැමීම සිදු වනු ඇත.