මාලිංග කොන්ත්‍රාත්තුව එපා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් සිදුකරනු ලබන ක්‍රීඩක කොන්ත්‍රාත්තු ගත කිරීමේදී ලසිත් මාලිංගට හිමි කොන්ත්‍රාත්තුව ඔහු විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ. පාදයේ ඇතිවී තිබෙන ආබාධය හේතුවෙන් අවසන් මාස 11 ක කාලය තුළදී මාලිංගට ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව අහිමිවුණු අතර ඒ පිළිබඳව සලකා බලමින් එම කොන්ත්‍රාත්තුව ප්‍රතික්‍ෂේප කළ බව මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

''ඇත්තටම මාව කොන්ත්‍රාත්තුවකට ඇතුළත් කිරීමට සුදුසු මට්‌ටමක නැහැයි කියන මතයේ තමයි මම ඉන්නේ. මොකද මම අවසන් මාස 11 ක කාලයේදීම ක්‍රීඩා කිරීමේ අවස්‌ථාව අහිමි වුණා. කොහොම වුණත් මම ඉතාමත් සතුටට පත් වෙනවා මට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදීම සම්බන්ධව''යි සඳහන් කරන මාලිංග අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රතික්‍ෂේප කිරීම 'පයින් ගැසීමක්‌ නොවන' බවද අවධාරණය කර සිටියි.

ඉදිරි කාලයේදී ජාතික කණ්‌ඩායම නියෝජනය කිරීම සඳහා සුදුසු මට්‌ටමකට පැමිණියහොත් ඉදිරි කාලය සලකා බලා තමාට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදෙන ලෙසත් තමා බලධාරීන් ඉල්ලීමක්‌ කළ බවත්, එසේ නොවුණහොත් සෙසු ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට්‌ ආයතනයටද තමා නිසා දැඩි අසාධාරණයක්‌ සිදුවන බව පෙන්වා දුන් බවත් මාලිංග සඳහන් කරයි.

''කාලයක්‌ තිස්‌සේ ක්‍රීඩා නොකළ නිසා මගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ ගැටලු තියෙනවා. එහෙම වුණොත් ඒක අනිත් ක්‍රීඩකයන්ට කරන අසාධාරණයක්‌. මොකද ඒ මුදල තව ළාබාල ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩාවේ දියුණුවට යොදා ගන්න පුලුවන්. ඒත් මගේ තීරණය ගැන ඔවුන් තවම මට ලිතම දැනුම් දීමක්‌ කර නැහැ. කොහොම නමුත් ඔවුන් මගේ තීරණයට එකඟ වෙයි කියලා හිතනවා''යි මාලිංග පවසයි.

මෙහිදී සිය ආබාධිත තත්ත්වය පිළිබඳවද අදහස්‌ දක්‌වා සිටි මාලිංග, පුහුණුවීම් කටයුතු සිදුකරගෙන යන නමුත් 100% කින් යථා තත්ත්වයට පත්විය හැකිවේ යෑයි තමා නොසිතන බවද මාලිංග සඳහන් කර සිටියේය.

''ගොඩක්‌ වෙලාවට මගේ තත්ත්වය දැන් සුව අතට හැරිලයි තියෙන්නේ. මම හිතනවා මම දැන් විස්‌සයි/20 තරග සඳහා හොඳ සූදානමකින් පසුවන බව. නමුත් ඕවර 50 තරගවලට නම් මම තවමත් සුදුසුයි කියලා හිතන්නේ නැහැ. ගොඩක්‌ වෙලාවට මම හිතනවා එංගලන්තයේ තියෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියෙදී මට කණ්‌ඩාමට පැමිණෙන්න අවස්‌ථාවක්‌ තියෙයි කියලා''යි මාලිංග සඳහන් කරයි.