ජනපති අනුමැතිය නැතිව වනාන්තර එළි කරනු බැහැ

ජනපති
වනාන්තර එළි පෙහෙළි කිරීමේදී අදාළ ආයතනයන්ගෙන් අනුමැතිය ලබා ගන්නා සේ තමාගේ ද අත්සන ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් ඉදිරියේ දී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (20) බත්තරමුල් මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

පසුගියදා අලව්ව, වරකාපොළ ප්‍රදේශයේ පස් කන්දක් කැපීම පිළිබඳ තමාට තොරතුරු ලැබුණේ රාජ්‍ය ඔත්තු සේවාව තුළින් බව ද කී ජනාධිපතිවරයා රාජ්‍ය ආයතන විසින් පස් කඳු කැපීම පිළිබඳ ලබා දී ඇති බලපත් පහක් පමණ තහනම් කරන ලෙස තමා අදාළ ආයතනවලට උපදෙස් ලබා දුන් බව ද කීය.

පරිසරය සුරැකීම සඳහා ක්‍රියාත්මක වන ආයතනයන්හි ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ තමන්ට ගැටලු සහගත තත්ත්වයක් පවතිනවා යැයි ද ප්‍රකාශ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතැම් ආයතන කැලෑ කැපීමට අවසර දී ඇති ආකාරය දෙස බලන විට තම වගකීම් හරිහැටි ඉෂ්ට කරනවාද කියා ඇසීමට සිදුවන බව ද පැවසීය.

කිසියම් හෝ ආයතනයක් පවතින ව්‍යුහය තුළ කැලයක් කැපීමට අනුමැතිය ලබා දුන්නත් අවසානයේ මගේ අනුමැතිය ද ගත යුතු බවට මා චක්‍රලේඛයක් නිකුත් කරනවා.

මේ ආකාරයෙන් ක්‍රියා කරන්නෙ නැතිව ගැටලු විසදන්න බැහැ. කදුකරයේ විශාල වනාන්තර හෙළි පෙහෙළි කිරීමට, මහා පස් කඳු කපන්නට ඉඩ දෙන්න බැහැ. සමහර කඳු කපන්න හොඳ නැහැ. සමහර කඳුවලින් එන දිය ඇලිවලින් ගම්මානවලට ජලය ලැබෙනවා. නුවරඑළිය සහ මහනුවර කැලෑ කැපීම පිළිබඳ පරීක්ෂණයක් කරනවා. මේ ආකාරයට කැලෑ කැපීමට අවසර ලබාදුන් නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වනවා. මොරගහකන්ද ව්‍යාපෘතියේ වැලි ගැනීමට බලපත්‍ර ලබා දී තිබෙන චීන සමාගම බලපත්‍ර දී තිබෙන ප්‍රදේශයේ වැලි අදිනවා වගේම තවත් පැත්තක් විනාශ කරන බවට පැමිණිලි ලැබිලා තිබෙනවා. එවැනි කාරණා පිළිබඳ අදාළ රජයේ නිලධාරීන් සොයා බැලිය යුතු බව ද ජනාධිපතිවරයා කීය.