ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ ඔටුන්න රංගන හේරත්ට

රංගන හේරත්
සිම්බාබ්වේ සංචාරය පිටත්ව යැමට පෙර ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් පුහුණු සැසියේදී කණ්‌ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්‌ මස්‌ පිඩු පෙරළීමේ (බත්කෙණ්‌ඩ) ආබාධයකට ලක්‌වීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ පිලේ නායකත්වය රංගන හේරත්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය මහතා ඊයේ (23 දා) සන්ධ්‍යාවේ පවසා සිටියේ ''මැතිව්ස්‌ හදිසියේ පුහුණුවීම්වලදී ආබාධයකට ලක්‌ වුණා. මට හිතෙන විදිහට ඔහුට සම්පූර්ණ සිම්බාබ්වේ සංචාරයම අහිමි වෙයි. අපි රංගන හේරත්ව නායකත්වයට පත් කරනවා. මැතිව්ස්‌ වෙනුවට කණ්‌ඩායමට ගේන්නෙ කවුද කියල තවම සාකච්ඡා කරනවා'' යනුවෙනි. වාර්තාවන අන්දමට උපුල් තරංග හෝ සඳුන් වීරක්‌කොඩි මැතිව්ස්‌ වෙනුවට කීඩා කරනු ඇත.

1982 දී බන්දුල වර්ණපුරගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගි වීමෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමක්‌ මෙහෙයවන 14 වැනි ටෙස්‌ට්‌ නායකයා ලෙස රංගන හේරත් ඉතිහාසගත වේ. ඔහුට පෙර පිළිවෙලින් ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායම මෙහෙයවීමට බන්දුල වර්ණපුර, දුලිප් මෙන්ඩිස්‌, ඩී. එස්‌. ද සිල්වා, රන්ජන් මඩුගල්ල, අර්ජුන රණතුංග, අරවින්aද ද සිල්වා, හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය, මාවන් අතපත්තු, මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, තිලකරත්න ඩිල්ෂාන් සහ ඇන්ජලෝ මැතිව්ස්‌ සමත්ව තිබේ.

38 වැනි වියේ පසුවන රංගන හේරත් ටෙස්‌ට්‌ තරග 73 කදී කඩුලු 332 ක්‌ බිඳ දමා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්‌ට්‌ කඩුලු සංඛ්‍යාවක්‌ ලැබූ තුන්වැන්නා වන්නේද මොහුය. ''මම හැම තිස්‌සෙම කණ්‌ඩායමට උපරිමයෙන් දෙන්න තමයි බලන්නෙ. මේ වෙලාවෙ අපේ දැනට ඉන්න හොඳම ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්‌ සහ දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්‌ වුණා. ඉතින් මට නායකත්වය භාර ගන්න කියල කිව්වා. නමුත් තවම මට ස්‌ථිරවම නායකත්වය ලබා දුන්නෙ නැහැ. කොහොම හරි උපරිමය ඉන්න කණ්‌ඩායමත් එක්‌ක කරන්න උත්සහ කරනවා'' යෑයි හේරත් පැවසීය.

සිම්බාබ්වේ සමග හත්වැනි වරටත් ටෙස්‌ට්‌ තරගාවලියකට සහභාගි වීම සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල හෙට (25 දා) අලුයම සිම්බාබ්වේ බලා පිටත්ව යැමට නියමිතය. සිම්බාබ්වේ හරාරේ නුවරට සේන්දුවීමෙන් දින තුනකට පසුව පළමු ටෙස්‌ට්‌ තරගයට ලබන 29 දා ශ්‍රී ලංකා පිල සහභාගි වේ.

වසර 12 කට පසුව සිම්බාබ්වේ සංචාරය කරන ශ්‍රී ලංකා පිල අවසන් වරට මාවන් අතපත්තුගේ නායකත්වයෙන් 2004 දී සිම්බාබ්වේහිදී සහභාගි වූ ටෙස්‌ට්‌ තරග දෙකම ජය ගෙන තිබේ. නවකයන් රොත්තක්‌ සමග රංගන හේරත් සිම්බාබ්වේ සංචාරයට සහභාගි වන්නේ ඉතිහාසයේ කිසිදු දිනක සිම්බාබ්වේ හමුවේ පරාජය නොවුන වාර්තාව තවදුරටත් රැක ගනිමින් ශ්‍රී ලංකාව ඔසවා තැබීමේ දැඩි අරමුණක්‌ සහිතවය.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 95 ක්‌ සමග වත්මන් ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම්වල හය වැනි ස්‌ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 8 ක්‌ පමණක්‌ ලබා සිටින සිම්බාබ්වේ එහි අවසන් ස්‌ථානය වන 10 වැනි ස්‌ථානයේ ශ්‍රේණිගතව සිටියි. 1999 සිට ටෙස්‌ට්‌ වරම් ලැබූ සිම්බාබ්වේ මේ වන විට ටෙස්‌ට්‌ තරගය ජයග්‍රහණය කර තිබෙන්නේ බංග්ලාදේශයට (06) ඉන්දියාවට (02) සහ පකිස්‌තානයට (03) එරෙහිව පමණි.

පළමු වරට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත්ව සිටින අසේල ගුණරත්න, කසුන් මධුෂංක, ළහිරු කුමාර සහ ළහිරු ගමගේ ශ්‍රී ලංකා 'ඒ' සහ දේශීය පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලදී විශිෂ්ට දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයෝ වෙති. කෙසේ වෙතත් උපනායකයා වන දිනේෂ් චන්දිමාල් වෙළෙඳ සේවා ක්‍රිකට්‌ තරගයකදී ඇඟිල්ලේ ආබාධයකට ලක්‌ව සිදුකළ ශල්‍යකර්මය හේතුවෙන් ඔහුගේ ස්‌ථානය නිරෝෂන් දික්‌වැල්ලට හිමිව තිබේ. දික්‌වැල්ලද 'ඒ' කණ්‌ඩායමේ දිගින් දිගටම දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයෙකි.

29 වැනිදා පළමු ටෙස්‌ට්‌ තරගයෙන් පසුව ශ්‍රී ලංකාව ලබන මස 6 වැනිදා හරාරේහිදී දෙවැනි ටෙස්‌ට්‌ තරගයට සහභාගි වේ. අනතුරුව ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව්වන් එක්‌ව තුන්කොන් එක්‌දින තරගාවලියකටද සහභාගි වේ. එම තරගාවලිය ලබන මස 14 වැනිදා ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ සිට දියත් වේ.

සිම්බාබ්වේ ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය

රංගන හේරත් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, ඩිල්රුවන් පෙරේරා, ලක්‍ෂාන් සඳකැන්, කසුන් මධුෂංක, ළහිරු කුමාර, ළහිරු ගමගේ, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න.

ශ්‍රී ලංකාවේ සංචාරයේ නියුතු බටහිර ඉන්දීය කොදෙව් 'ඒ' කණ්‌ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය අද (24 දා) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරග තුන සඳහා ශ්‍රී ලංකා 'ඒ' කණ්‌ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මිලින්ද සිරිවර්ධන පත්කර තිබේ.

ඉකුත් සමයේදී දේශීය පළමු පෙළ ක්‍රිකට්‌ තරගාවලි කිහිපයකදී දක්‍ෂතා දැක්‌වූ ක්‍රීඩකයන් කිහිප දෙනකුට ශ්‍රී ලංකා 'ඒ' සංචිතයේ ස්‌ථානය හිමිව තිබෙන අතර එහිදී දඟ පන්දු යවන ක්‍රීඩක අලංකාර අසංක මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක අනුක්‌ ප්‍රනාන්දුටද ස්‌ථානය හිමිව තිබේ.

එමෙන්ම ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව තිබෙන නායක මිලින්ද සිරිවර්ධන මෙන්ම දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරියටද මෙම තරගාවලිය ඉතාමත් වැදගත් වේ. ඉදිරියේදී සිම්බාබ්වේහිදී පැවැත්වෙන තුන්කොන් තරගාවලිය සඳහා මෙම තරගාවලියේ දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට අවස්‌ථාවක්‌ දීමට සනත් ජයසූරිය ක්‍රිකට්‌ තේරීම් කමිටුව බලාපොරොත්තුවෙන් පසුවන බැවින් මෙවර තරගාවලිය ශ්‍රී ලංකා 'ඒ' ක්‍රීඩකයන්ට ජාතික කණ්‌ඩායමට පැමිණීමේ සම්මුඛ පරීක්‍ෂණයක්‌ බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා 'ඒ' සංචිතය

ධනුෂ්ක ගුණතිලක, සඳුන් වීරක්‌කොඩි, මිනෝච් භානුක, චරිත් අසලංක, මිලින්ද සිරිව_ධන (නායක), ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, බිනුර ප්‍රනාන්දු, කේෂාන් විඡේරත්න, කසුන් රාජිත, අමිල අපොන්සු, ළහිරු මිලන්ත, ෂම්මු අශාන්, අනුක්‌ ප්‍රනාන්දු, අලංකාර අසංක