රසායනික යෙදූ පලතුරු හඳුනා ගන්න හරිම ක්‍රමය මෙන්න

රසායනික යෙදූ පලතුරු
දිලිසෙන දවටනයකින් දිවට දැනෙන ඉහවහා යන රසයකින් පිරි කෘත්‍රිම කෑමකට තවමත් අපේ හිත ඇදී යනවා. එසේ ඇදී යන්නේ පෝෂණ විශේෂඥයන්ගේ උපදෙස් අලුයම ළූ කෙළ පිඬක් තරමටවත් ගණනකට නොගෙනයි.

එහෙමත් නැත්නම් නොසැලකිලිමත් බව නිසයි. කොහොම වුණත් උගුරට හොරා බෙහෙත් කනවා වගේ දැන් දැන් එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමට අපේ අයත් පෙලඹී සිටිනවා.

ලෙල්ලක, පොත්තක එතී පලතුරක්, එළවළුවක් ලෙසින් අපේ ආහාර වේලට එක්වන්නේ පෝෂ්‍ය ගබඩාවක්. මේවා සියල්ලකම පාහේ විටමින් ඒ (බීටා - කැරොටීන්), සී, ඊ, මැග්නීසියම්, සින්ක්, පොස්පරස් හා ෆෝලික් අම්ලය අඩංගුයි. ෆෝලික් අම්ලයට රුධිරයේ හෝමෝස්ටීන් නම් ද්‍රව්‍ය අඩු කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ අඩුවීමෙන් හදවත් රෝග ඇතිවීමේ අවදානම ද අඩු වෙනවා. එළවළු හා පලතුරුවල ඇති තවත් වාසියක් නම් ඒවායේ මේදය, ලුණු හා සීනි අඩුවීමයි. තන්තු තිබීම තවත් වාසියක්.

වැඩි බර අඩුකර ගන්න, උසට සරිලන බරක් ඇතිකර ගන්න, අහිතකර කොලෙස්ටරෝල් අඩුකර ගන්න, රුධිර පීඩනය ක්‍රමවත්ව තබා ගැනීමට පලතුරු, එළවළු අත්‍යවශ්‍යයි. මේ ආහාරවලින් වැළැක්වෙන ලෙඩ රෝග වන්නේ දියවැඩියාව, ආඝාතය, හෘද රෝග, පිළිකා අධික රුධිර පීඩනයයි. මොන තරම් වාසි අත් වුණත් පාරිභෝගික ප්‍රජාවට තිබෙන ලොකු ගැටලුව පලතුරු සමඟ මතකයට එන කාබයිඩ් වචනයයි.

එතිෆෝන් කියන්නේ පලතුරු ඉදවීමට ගන්නා අවර්ණ, ඝන රසායනිකයක්. මෙය ජලයේ ඉක්මනින්ම දිය වී එතිලීන් නම් ක්‍රියාකාරී සංයෝගය නිපදවෙනවා. අපේ සිරුරට එතිලීන් ඇතුළු වන්නේ ඒවා අඩංගු පලතුරු, එළවළු ආහාරයට ගැනීමෙන් හෝ ඒවායින් නිදහස්වන වායුව ආශ්වාස කිරීමෙන්, සමේ ස්පර්ශ වීමෙන්ය.

* කෙසෙල්, තක්කාලි, ඇපල්, අන්නාසි, අඹ, පැපොල්, මිදි, පැඟිරි කුලයේ පලතුරු ආදී පලතුරු වර්ග ඉදීම ඉක්මන් කරවීමට

* තිරිඟු, සහල්, කෝපි මේරීම ඉක්මන් කරවීමට, වොල්නට් බීජ ඉක්මනින් ඉවත්කර ගැනීමට

* අඹ, ස්ට්‍රෝබෙරි, ඇපල් වැනි ශාකවල ඉක්මනින් පල හට ගැන්වීමට එතිලීන් යොදනවා.

රෝස වැනි මල් ගස්වල මල් පිපීම ඉක්මන් කිරීමට ද මෙය භාවිත කරනවා.

අප ආහාරයට ගත යුත්තේ එතිලීන් නොයෙදූ පලතුරුයි. එහෙත් වෙළෙඳ පොළේ වැඩිපුර ඇත්තේ එවැනි පලතුරුයි.

* හඳුනා ගන්න එතිලීන් මාරයා සැඟවුණු ආහාර

* ස්වාභාවික ඉදුණු පලතුරක ඇති සුමට කැළැල් සහිත බවක් මේවායේ නෑ. කෘමීන් හෝ වෙනත් සතුන් ආහාරයට ගත් බවක්, සැපූ බවක් ද නොපෙනෙයි.

* ගෙඩියේ පොත්ත තද කහ පාටකින් යුක්ත වීම, ගෙඩිය කපා බැලූ විට ඇතුළත ඉදී නොමැතිවීම, පොත්ත ආසන්න පෙදෙස පමණක් ඉදී තිබීම

* ගෙඩියේ කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම

* ස්වාභාවිකව ඉදුණු පලතුරක මෙන් යුෂ ස්වභාවයක් නොතිබීම

* කෘත්‍රිම සුවඳක් සහ රසයක් පලතුරින් දැනීම

* එතිලීන් ශරීරගතවීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු

* හිසරදය- * නින්ද නොයාම

* දිගු කාලයක් නිරාවරණය වීමෙන් ඇතිවන ගැටලු, මතක ශක්තිය අඩුවීම, අපස්මාරය, මුඛයේ තුවාල, සමෙහි තුවාල, වකුගඩු ආබාධ, බඩවැල් ආශ්‍රිත පිළිකා අවදානම

* ෆෝමලින් යොදන්නේ මාළුවලට පමණක් නොවේ ෆෝමලින් කියා ඇසුණු සැණින් අපේ මතකයට නැඟෙන්නේ මාළුයි. එහෙත් මාළුවලට අමතරව පලතුරු හා සෝයා (ටෝෆු) ආහාර කල්තබා ගැනීමටත් ෆෝමලින් යොදනවා.

ෆෝමලින්වල ඇති භයානකකම නම් ඒවා යෙදූ ආහාර සෙල්සියස් අංශක 80 ට රත් කළත් සම්පූර්ණයෙන්ම ෆෝමලින් ප්‍රමාණ ඉවත් කළ නොහැකිවීමයි.

* ෆෝමලින් නිසා

* ඇස්වල, නාසයේ, උගුරේ හා ශ්වසන මාර්ගයේ අනෙක් කොටස්වල දැවිල්ලක් හට ගන්නවා.

* කිවිසුම් යනවා.

* හුස්ම ගැනීමට අපහසු වෙනවා.

* නියුමෝනියාව හට ගැනීමට පුළුවන්.

* ඇදුම, සමෙහි පළු, දද වැනි අසාත්මිකතා හට ගන්නවා.

* උග්‍ර ලෙස ෆෝමැල්ඩිහයිඩ් වායුව (ෆෝමැල්ඩිහයිඩ් වායුව ජලයේ දියවීමෙන් ෆෝමලින් සෑදෙනවා) ආශ්වාස විමෙන් ආහාර මාර්ගයේ හා පෙණහලු ආස්තරණ සෛල විනාශ වී තුවාල හට ගන්නවා. එවිට ලේ වමනය, මළ මුත්‍රා සමඟ රුධිරය වහනය වීම, ශ්වසන අපහසුතා ඇතිවීම, රුධිර සංසරණ පද්ධතියේ සංකූලතා ඇතිවීම වැනි ලකුණු හට ගැනීමට පුළුවන්. අවසාන අවදානම මරණයයි. මිලිලීටර් 30 ක ෆෝමලින් ප්‍රමාණයක් වුවත් භයානක ප්‍රතිඵල ඇති කරනවා.

ෆෝමලින් පිළිකාකාරකයක්. වකුගඩු, අක්මාව, පෙණහලු රෝගී කිරීමටත් මේ රසායනය හේතු වෙනවා.

* ෆෝමලින් මාරයා හඳුනා ගන්නේ කෙසේද?

* මාළුවලට යොදා ඇති විට - තද රබර් වැනි මසක් තිබෙනවා.

කොරල තද ගතියකින් යුක්තයි. ඇස් දීප්තිමත්, පිළී ගඳ අඩුයි. මැස්සන් වහන්නේත් නැහැ.

* දැල්ලා - රබර් ගතියක් ඇල්ලූ විට දැනෙනවා. අතින් කඩන්න බෑ. පිහියකින් කැපිය යුතුයි.

* නූඩ්ල්ස් - කහ පැහැතියි. ඇදෙනසුලුයි. තම්බන විට හෝ ජලය එක් කරන විට අසාමාන්‍ය දුගඳක් දැනෙනවා.

* වෙනත් මාළු වර්ග - තද ගතිය වැඩයි. සුදුමැලියි. පිළී ගඳක් නැහැ. පිසූ පසුව ද තද ගතියක් තියෙනවා.

* සෝයා - සෝයා කිරි හා සෝයා ආහාර (ටෝෆු) රබර් වගෙයි. පැය 24 ක් (දවසක් ගියත් නරක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් ටෝෆු පැය 24 කදී පිළුණු වෙනවා)

* මාළු තෝරා ගැනීමේදී මිල වගේම මේ ගැනත් බලන්න.

* අතින් තද කරන විට එබෙන මාළු තෝරා ගන්න. පිළීගඳ ඇත්දැයි බලන්න.

* කරවල භාවිතය අඩු කරන්න.

* වර්ණවත් බව අඩු නූඩ්ල්ස් මිලදී ගන්න.

* සිනිදු මතුපිටක් ඇති ටෝෆු මිලදී ගන්න.

* දේදුනු පැහැයෙන් පාට, පාට පලතුරු තේරීම හරිම වැදගත්

* තක්කාලි, කොමඩු වැනි රතු පැහැති පලතුරුවල ලිසෝපීන් අඩංගුයි. හෘද රෝගවලින් ආරක්ෂා වීමට හා පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවලට වැට බැඳීමට මේ පැහැයේ පලතුරු උපකාරී වෙනවා. දිනකට පලතුරු වර්ග දෙකක්වත් කෑමට ගත යුතුයි. විස රසායන යෙදූ එළවළු, පලතුරු, නැවුම් මාළු අපේ ආහාර වේලෙන් ඈත් කළ යුතු නමුත් වසවිස නෙයෙදූ එළවළු, පලතුරු, නැවුම් මාළු හැකි තරම් එක්කර ගැනීමත් ඒ වාගේම වැදගත්.

* ඉන්දියාවේ විද්‍යාඥයන් කාබයිඩ් යෙදූ පලතුරු ත්‍රස්තවාදීන්ට වඩා භයානක බව හඳුන්වා තිබෙනවා.

කලින් ඉදවීමට යොදන පිළිකා කාරක කැල්සියම් කාබයිඩ්, අඹ, ගස්ලබු, ඇපල් වඩාත් පැණිරස කිරීමට එන්නත් කරන හානිකර පැණි රස ගෙනෙන රසායන, සියල්ලම අපේ වෙළෙඳ පොළේත් විකුණනවා. මේවා කටේ තුවාල, ගැස්ට්‍රයිටිස් ඇතුළු උදර ගැටලු, ඩයරියා, හමේ පලු, හෘද රෝග, ආඝාතය, ආතරයිටිස් ඇති කරනවා. ගැබිනි මවුවරුන්ට මෙබඳු ආහාර ගැනීමෙන් ගබ්සා හා අස්වාභාවික දරුවන් බිහි විය හැකියි.

* මෙන්න සොබා දහවට අනුව ඉදුණු පලතුරු හඳුනාගන්නා ක්‍රම

උදා: කෙසෙල් ඇවරියේ නටුව කළුපාටයි. දුඹුරු හෝ කළු තිත් ගෙඩි පුරාම දැකිය හැකියි.

කාබයිඩ් ගසා ඉද වූ කෙසෙල් ගෙඩි ලෙමන් කහ පාටයි. එකම වර්ණයක් ගෙඩිය පුරාම තිබෙනවා. නැට්ට කොළ පාටයි. රසයෙන් අඩුයි. වැඩි කාලයක් තියාගන්නත් බැහැ. එතරම් සුවඳ නැහැ.

අප මිල දී ගන්නා පලතුරු මිනිත්තු ගණනක් ගලා යන ජලයෙ සේදිය යුතුයි. අහිතකර කෘෂි රසායන සෝදා දැමීමට ඇති හොඳම ක්‍රමය එයයි.

ඒ ඒ වාරයට ඇති පලතුරු මිල දී ගන්න. අවාරයට ඇති පලතුරු කෘත්‍රිමව ඉදවීමට තිබෙන ඉඩ වැඩියි.

* කැල්සියම් කාබයිඩ් යෙදූ ඇපල්වල දින කිහිපයකින් කළු පැල්ලම් මතු වෙනවා.

* කෘත්‍රිම රසායනික යොදවා ඉද වූ අඹ වතුරේ ලේසියෙන්ම පාවෙනවා. පලතුරු ලෙල්ලේ රැලි වැටුණු ස්වභාවයක් පවතිනවා. ලෙල්ල කහ වුණත් ඇතුළ කොළ පාටයි. කහ ලෙල්ලේ කොළ පැල්ලම් දැකිය හැකියි. ඉදුණු අඹයක මෙන් යුෂ ගතියක් නෑ. වියළියි.

* කැල්සියම් කාබයිඩ්වල ආසනික් හා පොස්පරස් අංශු අඩංගුයි. මේවා ජලයේ දිය වූ විට ඇසිටලීන් වායුව නිපදවෙනවා. ඒ වායුව අපේ ස්නායු පද්ධතියට බලපා හිසරදය, කරකැවිල්ල, මානසිකත්වය වෙනස් වීම, නින්ද නොයාම, මානසික ව්‍යාකූලත්වය, වලිප්පුව වැනි තත්ත්ව හටගත හැකියි. දිගු කාලයක් මේ වායුවට නිරාවරණය වූ විට මතකය අහිමි වෙනවා. ඇස්වල දැවිල්ලක් ඇතිවීම, ගිලීමට අපහසුවීම, ස්ථිරවම ඇස්වලට හානි වීම, උගුරේ තුවාල, කැස්ස වැනි ලකුණු ද ඇති විය හැකියි.

* ඇපල් ගෙඩියේ ආයු කාලය වැඩි කිරීමට ඉටි තැවරීම ද කලක සිට සිදු කරන්නක්. ඉටි පිළිකාකාරකයි.

* කොමඩුවල මදයට දීප්තිමත් රතු පාටත් ලබාදීමට රතු වර්ණකයක් එන්නත් කරන බව දන්නවාද? මේ වර්ණක ද සිරුරට අහිතකරයි.

* දිලීර, බැක්ටීරියාවලින් පලතුරුවල ලෙල්ල රැක ගැනීමට ඉටි යෙදීම ද දැන් සිදු කරනවා. ග්ලූටන්, කිරි, සෝයා සමහරුන්ට අසාත්මිකයි වාගේ මේ වැක්ස් ද අසාත්මික විය හැකියි. ඊට අමතරව මේවායේ දිලීර නාශක, කෘත්‍රිම වර්ණය ද තිබෙන්නට පුළුවන්. මේවා පිළිකාකාරකයි. ලෙල්ල සමඟ ඇපල් කෑමෙන් ඇපල් රස මුව පුරා විඳින්නට හැකි වුවත් ලෙල්ලේ ඉටි ඇති පලතුරු කෑමට ගැනීම නම් නැති ලෙඩ ඇතිකර ගැනීමක්. ඒ නිසා ලෙල්ල ඉවත් කළ යුතුයි. පිපිඤ්ඤා, බෙල් පෙපර්ස්, වම්බටු, අර්තාපල්, ඇපල්, ලෙමන්, ලයිම්ස්, දොඩම් සුලබවම ඉටි ගල්වා ඇති එළවළු, පලතුරුයි. පිහියකින් ලෙල්ල සීරූ විට ඉටි ඇත්නම් ලෙල්ල ඉවත් කරන්න.

* තීරු සංකේත (බාර් කෝඩ්)

ආහාර මිලදී ගැනිමේදී ආහාරයේ අඩංගු ද්‍රව්‍ය වගේම තීරු සංකේතය ද වැදගත්. මෙය යුරෝපියන් ආටිකල් නම්බර් ලෙස හඳුන්වනවා. මෙහි අංක 13 ක් ඇති අතර අංකවලින් එක් එක් නිෂ්පාදනයන්ට අදාළ තොරතුරු හඳුනාගත හැකියි. අංක පේළියේ පළමු අංක 3 මඟින් අදාළ රට හඳුනා ගැනීමට පුළුවන්.

උදා: 890 - ඉන්දියාව
955 - මැලේසියාව
90 - 695 - චීනය
888 - සිංගප්පූරුව
500 - 509 - මහා බ්‍රිතාන්‍ය
471 - තායිවානය
30 - 37 - ප්‍රංශය
00 - 13 - අමෙරිකාව / කැනඩාව
400 - 440 - ජර්මනිය
450 - 459 - ජපානය
460 - 469 - රුසියාව
479 - ශ්‍රී ලංකාව
480 - පිලිපීනය
482 - යුක්‍රේනය
490 - 499 - ජපානය
520 - 521 - ග්‍රීසිය
528 - ලෙබනන්
529 - සයිප්‍රසය
560 - පෘතුගාලය
569 - අයිස්ලන්තය
570 - ඩෙන්මාර්කය - ග්‍රීන්ලන්තය

* විදෙස් රටවලින් ආනයනය කරන ලද ඇපල්, දොඩම් ඇතුළු එළවළු, පලතුරුවල කුඩා ස්ටිකරයක් තිබෙනවා. මේ ස්ටිකරයේ ඇති පේළියෙන් නිරූපණය වන්නේ ඒවා වගා කර ඇති ආකාරයයි. අංක 9 න් පටන් ගන්නා අංක 5 න් යුතු ලේබලයකින් කියවෙන්නේ එම පලතුර හෝ එළවළු කාබනිකව එනම් ස්වාභාවිකව වගාකර ඇති බවයි.

අංක 3 න් හෝ 4 න් ඇරඹෙන අංක 4 න් යුත් ලේබලයකින් කියවෙන්නේ කෘමිනාශක හා රසායනික පොහොර යොදා වගාකර ඇති බවයි. 8 න් ඇරඹෙන අංක 5 න් යුතු ලේබල ජාන විකරණයකර (ජෙනටිකලි මොඩිෆයිඩ්) නිපදවා තිබෙනවා.


විස තොරතුරු මධ්‍යස්ථානයේ දුරකථන අංක - 0112686143 - 0112691111 දිගුව 243.