බොරු විවාහ පොරොන්දු දී ලක්‍ෂ ගණනකට විදියි

මනාලයෙක් සොයා ගැනීම සඳහා අන්තර්ජාලයේ විවාහ යෝජනාවක පළ කළ මහරගම අධිකරණ බල ප්‍රදේශයේ ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් ලබාදී ඇය සතු රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන සැඟවී සිටින හොර ඉන්ජිනේරුවකු අත්අඩංගුට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව මහරගම පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගුරුවරියට මනාලයෙක් සොයා ගැනීම සඳහා පසුගිය දිනක ඇය අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කර ඇති බවත් එම දැන්වීම දුටු සැකකරු තමා ඉන්ජිනේරුවකු බව පවසා ඇයව විවාහ කර ගැනීමට පොරොන්දුවක් ලබාදී ඇති බවත්ය.

එසේ විවාහ පොරොන්දුව ලබාදුන් සැකකාර පුද්ගලයා නිතර නිතර ඇයට දුරකතනයෙන් අමතමින් සුහදතාව වර්ධනය කරගෙන ඇති බවත් එම සුහදතාව මත ඇය එකී සැකකරුවා පිළිබඳ දැඩි විශ්වාසයකින් සිට ඇති බවත් පොලිසිය පවසයි.

එකී සැකකරුවා පසුගිය දිනෙක ඇයට කතා කර "අපි හැකි ඉක්මනින් බඳිමු විවාහයට රුපියල් ලක්‍ෂ තිහක් විතර යයි" යනුවෙන් පවසා පසුව හදිසි අවශ්‍යතාවක් සඳහා තමාට රුපියල් පනස් දහසක් ලබාදෙන ලෙසද ඔහු ඇයගෙන් ඉල්ලා ඇති බවද පසුව ඇය ඔහු ඉල්ලූ මුදල රැගෙන මහරගම පිළියන්දල පාරේ ස්ථානයකට ගොස් මුදල් ලබාදී ඇති බවද ඇය ඔහුව පළමුවරට දැක ඇත්තේ එදින බවද අනාවරණය වෙයි.


එසේ මුදල් ලබාගත් සැකකාර පුද්ගලයා දින කීපයකින් පසු ඇයට නැවැත කතා කර "මගේ අවශ්‍යතාවට තව රුපියල් ලක්‍ෂ තුනක් මදි" යනුවෙන් පවසා ඇයගෙන් ඔහුගේ ගිණුම් අංකයකට එම මුදල් බැර කරවාගෙන ඇති බවද පොලිසිය පවසයි.
සැකකරු ලබාදුන් ගිණුම් අංකයට මුදල් දැමූ ගුරුවරිය අවස්ථා කීපයකදී ඔහුගේ දුරකතන අංකයට ඇමැතුම් ලබාදී ඇතත් එම අංකය විසන්ධි වී ඇති බවද සැකකාර පුද්ගලයා තමන්ට වංචාවක් කර ඇති බව දැනගත් ගුරුවරිය ඒ බව දන්වමින් මහරගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මහරගම පොලිසියේ සැරයන් නවරත්න (16379) මහතා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කළ කරුණු දැක්වීමකදී එම කරුණු අනාවරණය කෙරිණි.