සජිත් ෆේස්බුක් වීඩියෝව ගැන කතා කරයි

තමන් සම්බන්ධයෙන් මේදිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාප්තවන වීඩියෝව සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමතිවරයා ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු එක්තරා ස්ථානයක සිට කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ ව්‍යාප්තවෙමින් ඇති අතර සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද ඒ ගැන ඔහුගේ ෆේස්බුක් ගිණුම මගින් ප්‍රතිචාර දක්වා ඇත.

ඒ එම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලාවල සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමගය.

අමාත්‍යවරයා පවසා ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ රැකියා වියුක්තිය ඉහළ මට්ටමක පවතින බවයි.

ඉකුත් රජයට වරාය හා ගුවන්තොටුපළ මගින් රැකියා නිර්මාණය කිරීමට‍ නොහැකි වූ බවත්, තමන්ට ලැබුණු පෞද්ගලික අංශයේ ආරක්ෂක නිලධාරී තනතුරු ඇබෑර්තු කිහිපයක් වෙනුවෙන් ඔවුන් තෝරාගැනීමක් සිදුකළ බවත්, හෙතෙම පවසා තිබේ.

තවද තමන් විසින් සිදුකළ එම ක්‍රියාදාමය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අවලාද නැඟු සියළුදෙනාගේ ප්‍රතිචාර අගය කරන බවත්, තමන් සියළුදෙනාටම ආදරය කරන බවත්, එසේම තමා උත්සාහ කරන්නේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම්දීමට බවත් අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.