බැඳුම්කර වංචාව - සම්පූර්ණ කෝප් වාර්තාව මෙන්න

සම්පූර්ණ කෝප් වාර්තාව - COPE report
මහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සැකසූ වාර්තාවේ නිර්දේශ එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එකී සිද්ධියට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෝප් කාරක සභාව විසින් සැකසූ නිර්දේශ සම්පූර්ණයෙන් පහත පරිදිය.

කාරක සභාවේ නිර්දේශ
2015-2016 යන වසර දෙක තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු කරන ලද බැදුම්කර නිකුත් කිරීම්වලදී, අප පරීක්ෂාවට භාජනය කළ 2015 පෙබරවාරි 27 වන දින ගනුදෙනුවේදී එවකට මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේනුද්‍රන් මහතා මැදිහත්වීමක් හෝ සිදු කළ බවට සාධාරණ සැකයක් ඇති විය හැකි ආකාරයේ සාක්ෂි හා කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිඳරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.

කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණ හා සාක්ෂි විභාග කිරීම්වලදී, ඇතැම් ගනුදෙනුවල උපරිම පාරදෘශ්‍යභාවය නොමැති බවද, එහිදී කටයුතු කළ ආකාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්වාසනීයත්වය පළුදු වී ඇති බවද යන්න පිළිබඳව සාධාරණ සැකයක් ඇතිවිය හැකි ආකාරයේ සාක්ෂි හෝ කරුණු කාරක සභාව ඉදිරියේ හෙළිඳරව් වී ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.

එසේම ඒ කාලයේ සිදු වී ඇති බැඳුම්කර ගනුදෙනු හරහා ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගෙන් එක් ආයතනයක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ඉතා විශාල මූල්‍යමය ලාභ උපයාගෙන ඇති බව කාරක සභාව නිරීක්ෂණය කරයි.
එසේම මෙම ගනුදෙනුවලට වගකිව යුතු මහ බැංකුවේ නිලධාරීන් හා ආයතනයන්ට එරෙහිව පැනවිය යුතු දණ්ඩනයන් හා වෙනත් නියමයන් නිර්දේශ කරමි.

එකී අයතා කටයුතු හේතුවෙන් රජයට හා මහජනතාවට සිදු වී ඇති අලාභ හෝ පාඩුව එකී වගකිව යුතු පුද්ගලයන්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බව නිර්දේශ කරන අතර ඒ සඳහා අවශ්‍ය අධිකරමය ක්‍රියා මාර්ග ගත යුතු බව කාරක සභාව අවධාරණය කරයි.

එසේම නිර්දේශ දණ්ඩනයන් හෝ වෙනත් නියමයන් අවශ්‍ය අයුරින්ම ක්‍රියාත්මක වන බව සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත් ඒ පිළිබඳව පසු විපරම් කිරීම සඳහාත්,

එමෙන්ම එබඳු ආකාරයේ කටයුතු මින් ඉදිරියට සිදු නොවීම සඳහා අව‍ශ්‍යයෙන්ම ගත යුතු සියලු පියවර ආවේක්ෂණ හා තුලනයන් ක්‍රියාත්මක කිරීම සඳහාත්,

එකී ආවේක්ෂණ හා තුලනයන් මහ බැංකුව විසින් නිසි පරිදි ක්‍රියාවේ යොදවන බවට සොයා බැලීම සහ සහතික කිරීම සඳහාත්,පාර්ලිමේන්තුව සෘජුව මැදිහත් විය යුතු අතර එය පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය පාලනයට අදාළ මූලික වගකීම බව කාරක සභාව අවධාරණය කරයි.

එසේ ක්‍රියාත්මක කිරීමෙන් රජයට සිදු වූ අලාභයන් අය කර ගැනීම සහ පවතින නීති යටතේ ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තුව සතු වගකීමක් ලෙස ඉතා ඕනෑකමකින් කාරක සභාව නිර්දේශ කරයි.එසේම යළි මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට පියවර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව තුළ සහ ඊට අනුශාංගික අනෙකුත් ආයතන තුළ සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම එම ආයතන විසින් පාර්ලිමේන්තුවට සහතික විය යුතු බව කාරක සභාව අවධාරණය කරයි,

එසේම,

රටේ මූල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වගකිව යුතු ප්‍රධානතම ආයතනය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ටෙන්ඩර් නිකුත් කිරීම හා ප්‍රධානය කිරීම්වලදී ඒ පිළිබඳව කටයුතු අධීක්ෂණය කිරීම සඳහාත් අවශ්‍ය සියලු පසු විපරම් කිරීම සඳහාත් විධායකය මගින් විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක් වහාම පත් කළ යුතු යයිද කාරක සභාව නිර්දේශ කරයි.

මහ බැංකුවේ නිලධාරීන් විසින් එක් තනි ආයතනයක් ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයථා වාසියක් ඉපයීමට හැකි වන ලෙස කටයුතු කිරීමටත්, එසේම ප්‍රාථමික ගනුදෙනුකරුවන් ලෙස අදාළ ආයතනයද එම වාසි ලබා ගැනීමේ අරමුණ සහිතව ක්‍රියාත්මක වීමත් මහ බැංකුවේ මූල්‍ය පාලනයේ විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය සඳහා බරපතළ ලෙස අහිතකර තත්ත්වයක් වන බැවින් එම තත්ත්වය පිළිබඳව නීතිමය බලය සහිත පිළිගත් ආයතනයකින් පුළුල් විමර්ශනයක් කිරීමත් නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීමට ගත හැකි සියලු පියවර ගැනීමත් නිර්දේශ කරයි.

බැදුම්කර ක්‍රියාවලිය හරහා රටට අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීමේදී රජයේ හදිසි මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලිය හැකි රාජ්‍ය මූල්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව නිර්දේශ කරන කාරක සභාව ඒ සඳහා ප්‍රතිපාදන සලසන වගන්ති මහ බැංකුවේ මෙහෙයුම් අත්පොත ඇතුළු අනෙකුත් අදාළ ලේඛන වලට ඇතුළත් කළ යුතු යැයි මහ බැංකුවට නිර්දේශ කරයි.

මෙම ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනය ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස ඉතා කෙටි කාලයක් තුළ අධික ලාභයක් උපයා ඇති අතර එසේ ලාභ ඉපයීමේ ක්‍රියාවලිය පිළිබඳ පූර්ණ බලැති යාන්ත්‍රණයක් මගින් පරීක්ෂණයක් කළ යුතු අතර එමගින් ඔවුන්ගේ කටයුතු හරහා මහ බැංකුවට හා රජයට මූල්‍යමය පාඩුවක් සිදු වී ඇත්දැයි ඉතා කඩිනමින් අනාවරණය කර ගැනීම මහ බැංකුවේ වගකීමක් ලෙස කාරක සභාව තරයේ විශ්වාස කරයි.

ඉදිරියේදී මෙවැනි මුල්‍ය අක්‍රමිකතා ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රාථමික වෙළෙඳුන්ගේ වෙළෙඳපොළ කටයුතු සහ ද්වීතියික වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව පසු විවරණය කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම නිර්දේශ කරන අතර එමගින් මහ බැංකුව රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මුල්‍ය සම්පාදනය සිදු කරන ආකාරය පසු විපරම් නිරීමේ හැකියාව ලැබෙනු ඇත.

මේ දක්වා යාවත්කාලීන නොකරන ලද රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තු මෙහෙයුම් අත්පොත වහාම යාවත්කාලීන කළ යුතු අතර එහි බැදුම්කර හරහා රජයට මුල්‍ය සම්පාදනය කිරීමේදී එසේ මූල්‍ය සම්පාදනය කළ හැකි රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාවය දීමේ ප්‍රතිපාදන ඇතුළත් කළ යුතු බව නිර්දේශ කරයි.
මෙම ප්‍රස්තුත බැදුම්කර ගනුදෙනුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සෘජුවම වගකිව යුතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි.

මෙවැනි ගනුදෙනු වලදී විනිවිදභාවය සහ මහ බැංකුවේ විශ්වාසනීයත්වය ආරක්ධා කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සැකසීම සහ දැනට පවත්නා විනිමය කොමිෂන් සභා පනත ඇතුළු අදාළ නීතිරීති අණ පනත් කඩිනමින් සංශෝධනය කළ යුතු බව නිර්දේශ කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණයෙන්ම පැවරී ඇති මෙම උත්තරීතර පාර්ලිමේන්තුව වෙත කාරක සභාවට මෙතෙක් ඉදිරිපත් වී ඇති සියලු ලේඛණ, තොරතුරු හා සාක්ෂි (එකී ඇතැම් තොරතුරු සංවේදී යයි ප්‍රකාශ වුවුද) ඉතා ඉක්මනින් ඉදිරිපත් කිරීම කාරක සභාවේ දැඩි වගනීමක් බවද කාරක සභාව විශ්වාස කරයි. 

එම වගකීමට අනුව මෙම නිර්දේශ සහ විගණකාධිපතිවරයාගේ නිර්දේශ හා නිඟමන සහිත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර මෙම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳව විවෘත සංවාඳයක් ඇති කළ යුතු බවටත් කාරක සභාව නිර්දේශ කරයි.

-ineÈ mqj;a-
1.COPE report presented to Parliament

COPE report
COPE report
COPE report