96 ලෝක ක්‍රිකට් ශූරයෝ ඕස්ට්‍රේලියාවට

96 ලෝක ක්‍රිකට් ශූරයෝ

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා නව සුබසාධක අරමුදලක් පිහිටුවීමට කටයුතු කර ඇති 1996 ලෝක ක්‍රිකට් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් එහි තවත් පියවරක් ලෙස එම අරමුදලට ආධාර පිණිස මේ මස 29දා හා නොවැම්බර් මස 1දා ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරග දෙකක් සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කළ පැරැණි ක්‍රිකට් ක්‍රීඩකයන් රැක බලා ගැනීමේ අරමුණ ඇතිව පිහිටුවන ලද මෙම සුබ සාධක අරමුදලට ආධාර පිණිස මෙම ක්‍රිකට් තරග දෙක පැවැත්වෙන අතර 1996 ලෝක කුසලානය දිනූ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සමඟ ඔක්තෝබර් මස 29දා සිඩ්නිහිදීත්, නොවැම්බර් 1දා මෙල්බර්න්හිදීත් විස්සයි - 20 තරග දෙකක් පැවැත්වීමට නියමිතය. 29දා සිඩ්නිහිදී පැවැත්වෙන තරගයට සහභාගි වන කණ්ඩායමද පැරැණි ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත වන අතර නොවැම්බර් 1දා මෙල්බර්න්හිදී තරගවදින ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ ශ්‍රී ලංකා පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන රවී රත්නායකය.

1දා මෙල්බර්න්හි පැවැත්වෙන විස්සයි - 20 තරගය සඳහා අතුල සමරසේකර, සංජීව වීරසිංහ, චාමර දුනුසිංහ, දුලිප් ලියනගේ, මාලන් වොන්හාට්, සාලිය අහංගම, සනත් කළුපෙරුම හා රුමේෂ් රත්නායක යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ඇතුළත් වන බව දැනගන්නට ඇත. ඒ අනුව පළමු තරගය සිඩ්නි නුවර අෑෂ් ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදීත් දෙවැනි තරගය මෙල්බර්න්හි සවුත් මොරෑන්ග් ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරග නැරැඹීම සඳහා කිසිදු අය කිරීමක් නොමැත. එහෙත් තරගය නැරැඹීම සඳහා පැමිණෙන ඕනෑම කෙනකුට එක් ඩොලරයකින් හෝ ආධාර කිරීමේ අවස්ථාවක් සලසා ඇත.

තවද මෙම අරමුදලට ආධාර රැස්කිරීමේ අරමුණින් නොවැම්බර් 30දා රාත්‍රියේදී සිඩ්නිහිදීත් නොවැම්බර් 5දා රාත්‍රියේදී මෙල්බර්න් හිදීත් විශේෂ උත්සව දෙකක් සංවිධානය කර ඇත. විශේෂයෙන්ම මෙල්බර්න්හිදී පැවැත්වෙන වැඩසටහන් සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ලැබෙන බව ඊයේ ඕස්ට්‍රේලියාවේ සිට දුරකතනය ඔස්සේ අදහස් දැක්වූ අසංක ගුරුසිංහ මහතා පැවැසීය. 

මේ සම්බන්ධව ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවමින් ඕස්ට්‍රේලියාවේ සිදු කෙරෙන මෙම වැඩසටහන ගැන තවදුරටත් අදහස් දැක්වූ අසංක ගුරුසිංහ 'තරගවලින් පසුව පැවැත්වෙන රාත්‍රි වැඩසටහන් සඳහා එක් අයකුගෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 100ක් අයකරනවා. සිඩ්නි උත්සවයට ප්‍රවේශපත්‍ර 400ක් නිකුත් කරනවා. මෙල්බර්න් උත්සවයට ප්‍රවේශපත්‍ර 700ක් නිකුත් කළා. එම ප්‍රවේශපත්‍ර සියල්ලම විකිණී අවසන්. එහිදී ක්‍රීඩා භාණ්ඩ ආම්පන්න හා ක්‍රීඩා ඇඳුම් පැලැඳුම් වැනි දෑ වෙන්දේසියක් මඟින් ආධාර එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. එවැනි ක්‍රීඩා භාණ්ඩ සහ මුදල්මය වශයෙනුත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙන් අපට විශේෂ අනුග්‍රහයක් ලැබෙනවා. මම පසුගිය දිනක ලංකාවට පැමිණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟත් මේ ගැන කතා කළා. ඔවුන්ගෙනුත් අනාගතයේ යහපත් ප්‍රතිචාරයක් ලැබේවි කියා බලාපොරොත්තු වෙනවා' යනුවෙන් පැවැසීය.

මෙම අරමුදල් එකතු කිරීමේ තරග දෙක සඳහා අර්ජුන රණතුංග (නායක), අරවින්ද සිල්වා, රොෂාන් මහානාම, අසංක ගුරුසිංහ, සනත් ජයසූරිය, රොමේෂ් කළුවිතාරණ, හෂාන් තිලකරත්න, මුත්තයියා මුරලිදරන්, ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර, උපුල් චන්දන ඇතුළත් 96, ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම ලබන බ්‍රහස්පතින්දා (27දා) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය. නොවැළැක්විය හැකි රාජකාරි කටයුතු හේතුවෙන් කුමාර් ධර්මසේන හා මාවන් අතපත්තු මෙම සංචාරයට සහභාගි නොවන බවද පැවැසේ.