දියවැඩියාව නිසා හටගන්නා ලිංගික දුබලතාව

වර්තමානයේ ඉතා ශීඝ්‍රව පැතිර යන බෝනොවන රෝග අතර දියවැඩියාව පවතින්නේ ප්‍රමුඛ ස්‌ථානයකය. දියවැඩියාව රෝගය නිසි ලෙස පාලනය නොකිරීම නිසා බොහෝ අතුරු රෝග මතුවේ. එහි එක්‌ රෝගයක්‌ ලෙස ලිංගික දුබලතාවය හටගනී.

දියවැඩියා රෝගය නිසා මතුවන ලිංගික දුබලතාවය දියවැඩියා රෝගය නිසා මතුවන ලිංගික දුබලතාවය කාන්තාවන්ට මෙන්ම පිරිමින්ට ද එක සමානව පීඩා ගෙනදේ.

දිගු කාලයක්‌ තිස්‌සේ දියවැඩියා රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන් රෝගය පාලනය සඳහා නිසි ප්‍රතිකාර නොගන්නා විට ලිංගික දුබලතාවය අතුරු රෝගයක්‌ ලෙස මතුවේ.

දියවැඩියා රෝගයද ආහාර ජීර්ණ දුර්වලතා ඇති කිරීමට බලපෑම් කරන රෝගයක්‌ බැවින් අප ගනු ලබන ආහාර නිසි ලෙස ශරීරය තුළ ජීර්ණයට ලක්‌ නොවේ. එවිට ජීර්ණයේ අවසාන ඵලය දක්‌වා ආහාර කොටස්‌ වෙන් නොවීම නිසා ආහාරයේ ඇති පෝෂක කොටස්‌ ශරීරයට නිසි ලෙස අවශෝෂණය කරනොගනී.

අප ගනු ලබන ආහාර ශරීරය තුළදී රස ධාතුව, රක්‌ත ධාතුව, මාංශ ධාතුව මේද ධාතුව, අස්‌ථි ධාතුව, මඡ්ජා ධාතුව සහ ශුක්‍ර ධාතුව ලෙස සප්ත ධාතූන් බවට පරිණත වේ.

දියවැඩියා රෝගයේදී ඉහත කී සප්ත ධාතු පරිණතිය දුර්වලතා සහිතව සිදුවන බැවින් එම සියලුම ධාතූන්ගේ දුර්වලතා හටගනී.

අප ගනු ලබන ආහාරවලින් නිසි ප්‍රයෝජන ශරීරයට ලැබීමට නම් මුලින්ම සෑදෙන රස ධාතුව නිසි අයුරින් නිර්මාණය විය යුතුය. එසේ නොවුණ හොත් ධාතු පරිනතිය නිසි ලෙස සිදුනොවීමෙන් එහි උත්කෘෂ්ඨ ඵලය වන ශුක්‍ර ධාතුව නිර්මාණය නොවේ.

එවිට අපගේ ලිංගික ඉන්දීය පද්ධතියේ සියලු ක්‍රියාවන් යහපත් අයුරින් සිදු නොවේ.

මෙම තත්ත්වය මතු වූ විට ලිංගික දුබලතා මතුවේ. එනම් ලිංගික හැඟීම් මතුවුවද පිරිමින්ගේ ලිංගික ඉන්ද්‍රියයන් ප්‍රාණවත් නොවේ. ලිංගික ඉන්ද්‍රියන් ප්‍රාණවත් වුවද ශුක්‍රානු නිෂ්පාදනය දුර්වලවීම හෙවත් ශුක්‍ර ක්‌ෂීණතාවය හටගනී.

කාන්තාවනටද ලිංගික උත්තේජනයේ දුර්වලතා මතුවේ. ලිංගික හැඟීම් මතුනොවේ. ඩිම්භ මේරීමේ සහ පිටවීමේ දුර්වලතා හටගනී.

මෙලෙස ලිංගික දුබලතා මතුවීමට අමතරව ලිංගික අවයවවලද රෝග හටගනී. පිරිමින්ගේ පුරුෂ ලිංගයේ සම අග පැලීමට ලක්‌වීම සහ වේදනාකාරී තුවාල හටගැනීම සිදුවේ.

කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිත සිනිදු පටල වල කැසීම් හටගනී. විවිධ ප්‍රදාහයන් මතුවේ.

ලිංගික දුබලතාවට ප්‍රතිකාර

දියවැඩියාව නිසා මතුවූ ලිංගික දුබලතාවය සඳහා ප්‍රතිකාර කිරීමේදී පළමුව සිදු කළ යුත්තේ පවතින ජීර්ණ දුර්වලතා නිවැරදි කිරීමය. එවිට සප්ත ධාතු පරිනතියට පත් නොවීම සඳහා ප්‍රතිකාර කර යළි එය නිවැරදි කළ හැකිය.

ජීර්ණ දුර්වලතා නිසා ශරීරයේ තැන්පත්ව ඇති විෂ කොටස්‌ රක්‌ත ශෝධන ප්‍රතිකාරය මගින් ඉවත් කළ යුතුය.

මෙලෙස ප්‍රතිකාර ලබාදෙන අතර දියවැඩියා රෝගය නිසා දුර්වල වූ අග්න්‍යාසය සුවපත් කරමින් ඉන් නිපදවනු ලබන ඉන්සියුලින් හෝමෝනය යළිත් ශරීරය තුළ සමතුලිත තත්ත්වයට පත් කළ යුතුය. මේ අයුරින් නිවැරදි ප්‍රතිකාර ලබාදෙන විට දියවැඩියාව නිසා ශරීරයේ වැහැරී ගිය ඉන්ද්‍රීය පද්ධතිය නැවත ප්‍රතිස්‌ථාපනය වේ.

රෝගියාගේ පැවති ලිංගික දුර්වලතාවයේ රෝග මට්‌ටම අනුව අෂ්ටාංග ආයුර්වේදයේ ප්‍රධානම අංගයක්‌ වන වාජීකරණ ඖෂධ හෙවත් ලිංගික ශක්‌තිය වැඩි කරන ඖෂධ ලබාදිය හැකිය. එය කළ යුත්තේ නිසි වෛද්‍ය ප්‍රතිකාර සහ නිසි වෛද්‍ය උපදෙස්‌ මතය.

දියවැඩියාව නිසා මතුවූ ලිංගික දුබලතාවය ඇති පුද්ගලයනට සම කැසීම, පලු දැමීම වැනි සම ආශ්‍රිත රෝග, අර්ශස්‌, සෙම් රෝග, පීනස්‌ රෝග, ගැස්‌ට්‍රයිටිස්‌ වැනි රෝගත් මතුවේ. එබැවින් මෙම රෝග පාලනය සඳහා ද ප්‍රතිකාර ලබාගත යුතුය.

එසේ නොමැතිව වාජීකරණ ඖෂධ පමණක්‌ ලබාගෙන මතුව ඇති දුර්වලතා සුවපත් කරගත නොහැකිය.

දියවැඩියාව නිසා මතුවන ලිංගික දුබලතාවය සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳව වැඩිදුර තොරතුරු දුරකථන අංක 0713009088 අමතා වෛද්‍යතුමන් වෙතින් ලබාගත හැකිය.

පෑලියගොඩ රන්පත වෛද්‍ය මධ්‍යස්‌ථානයේ ආයුර්වේද වෛද්‍ය
රන්පත රුවන් රත්නායක