මමත් සරණ පූසා වගෙයි

හිරේ දමා තමාව හීලෑ කර ගත නොහැකි බවත් යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැති බවත් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවැසීය. එසේම තමා සිඳු කතාවේ සරණ නම් පූසා වගේ බවද ඔහු පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අතමින් ඔහු මේ බව පැවැසීය.

“මා ගැන ආණ්ඩුවේ ඇමතිවරයෙකු කියලා තිබෙනවා “හිරේ දාලත් මුගේ කට නම් අඩු වෙලා නෑ කියලා. මමත් කියනවා හිරේ දාලා මාව හීලෑ කරන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක හීනයක්.
අපි යකාට බය නැති හින්ද තමයි සොහොනෙ ගෙවල් හදාගෙන ඉන්නේ. මමත් හරියට සිදූ කතාවේ ඉන්න සරණ පූසා වගේ. මමත් හදන්නම බෑ තමයි. මගේ පාසල් සමයේ මගේ ආදරණීය විදුහල්පති ආර් අයි ටී අලස් මැතිතුමා ඒ දවස්වල හිනා වෙවි කියනවා ගමන් කරන පිල හදන්නම බෑ කියලා. එතුමාගේ ගෝලයින් වන අගමැතිතුමා සභානායකතුමා එජාප සභාපතිතුමා ඒ පාඩම එතුමාගෙන් ඉගෙන ගෙන නෑ වගේ.” යැයි ඔහු පැවැසීය.

එසේම මේ වන විට ඩෙන්මාර්ක ආගමන විගමන දෙපාර්තමේන්තුව සිය වීසා ලබාදිමේදී උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළමද ඇතුළත් කර තිබෙන බවද ඔහු පැවැසීය.

“මේ වෙනකොට ඩෙන්මාර්කයෙන් දෙමළ ඊලම වෙනම රටක් විදිහට මතුවේවා. ඩෙන්මාර්ක් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ලබා දීමේ දී තමන් උපන් රට තෝරා ගන්න ලැයිස්තුවක් ඉදිරිපත් කරනවා.ඒ ලැයිස්තුවේ තිබෙනවා දෙමළ ඊළම. මීට කලින් ඔස්ට්‍රේලියානු සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විද්‍යුත් සංගණනයේ දී තමන් උපන් රට තෝරා ගන්නා ලැයිස්තුවට දෙමළ ඊළම ඇතුලත් කර තිබුණා. තානාපති කාර්යාලය කිසිම දෙයක් කලේ නෑ. ඒ රටේ ජීවත් වන ලාංකික ජනතාවගේ බලවත් විරෝධය හමුවේ එය වෙනස් කරන්න ඔස්ට්‍රේලියානු ආණ්ඩුව එකඟ වුණා. එම සංගණනයත් ඉවර වෙලා ලංකාව තුලත් මීට එරෙහිව විරෝධතා ඇතිවෙද්දි තමයි මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිලිබදව සිය විරෝධය පළ කලේ.”