සරත් ආබෲ නිදොස්කොට නිදහස්

අභාවප්‍රාප්ත හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට එරෙහිව පවරා තිබූ නඩුව අවසන් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

සිය නිවසේ මෙහෙකාරියට අතවර කිරීමේ චෝදනා මත සරත් ද ආබෲ මහතාට එරෙහිව අදාළ නඩුව ගොනුකර තිබුණි.

නඩුව අද කැඳවූ අවස්ථාවේ විත්තිකාර සරත් ද ආබෲ මහතා මේ වන විට මියගොස් ඇති බැවින් අදාළ නඩුව අවසන් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම නඩුව අවසන් කරන බව දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යම් පුද්ගලයෙකු අධිකරණය මගින් වරදකරු කරනතුරු නිර්දෝෂී පුද්ගලයෙකු බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව සරත් ද ආබෲ මහතා ද නිර්දෝෂී අයෙකු බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමට මැදිහත් වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශවකරුවන්ට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ ලබන මස 05 වැනිදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය දැනුම් දී තිබේ.

අදාළ තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද ඒ පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා ප්‍රකාශ කර තිබේ.