මේජර් විමල්ගේ දඩය ගෙවන්න ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් වෙයි

වසර 18කට පෙර ක්‍රියාන්විතයේ යෙදී සිටියදී කදවුරකින් පැන ගිය එල්ටීටීඊ සාමාජිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ යුද හමුදා මේජර් විමල් වික්‍රමගේට එම එල්ටීටීඊ සාමාජිකයාගේ ඥාතීන් වෙත ගෙවීමට අධිකරණයෙන් නියමවූ රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල ගෙවා දැමීමට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරි කමිටුව ඉදිරිපත්ව සිටී.

ඒ අනුව අද (13දා) උදෑසන 7ට හෝමාගම නගරයේ ධර්මපාල පිළිරුව අසලින් එම වන්දි මුදල එක්රැස් කිරීමේ කාර්යය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. 

ලබන ඔක්තෝබර් 15 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු මෙම රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල ගෙවාගත නොහැකි වුවහොත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත වීම වළක්වා ගැනීම ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරි කමිටුවේ අරමුණ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. 

මෙසේ ජනතාවගෙන් එක්රැස් කරගන්නා සියලු මුදල් මහජන බැංකුවේ බණ්ඩාරගම ශාඛාවේ මේජර්වරයාගේ නමට ඇති ගිණුමට බැර කරන අතර පරිත්‍යාගශීලීන්ගෙන් මුළු මුදල සොයාගත නොහැකි වුවහොත් ඉතිරි මුදල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් එක්ව ගෙවා දමා නිලධාරියා බේරා ගැනීමට කටයුතු කරන බව ඒ මහතා කීය.