චතුර සහ ‍පොලිසිය අතර නඩුව සමථයට

රාජකාරියේ යෙදී සිටි රාගම ‍පොලිසියේ නිලධාරීන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා බැණ තර්ජනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ දෙපාර්ශ්වයේ එකඟතාව මත නඩුව සමථයකට පත් කරන බව මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පැවසීය.

රාගම රථ ගා‍ලේ අයිතිය සම්බන්ධව ඇතිවූ ප්‍රශ්නයකදී චතුර සේනාරත්න මන්ත්‍රීවරයා රාගම ‍පොලිසියේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි රාගම ‍පොලිසිය අධිකරණයට චෝදනා පත්‍රයක් මගින් පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

මහෙස්ත්‍රාත්වරයා චතුර සේනාරත්න මන්ත්‍රීවරයා අමතා පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයක මහජන නියෝජිතයකු ලෙස මීට වඩා වගකීමෙන් යුතුව සහ ආදර්ශවත්ව හැසිරීමට වගබලා ගත යුතු යැයි විවෘත අධිකරණයේදී පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි උප ‍පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර මහතා සමථයකට කැමැති බව අධිකරණයට කියා සිටියේය.

රාගම ‍පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක පී.කේ. හෙට්ටිආරච්චි, අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සමන්ත ගුණසේකර, උප ‍පොලිස් පරීක්ෂක කැලුම් බණ්ඩාර යන මහත්වරුවන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වන කේ.පී. තවරාසා, ගාමිණී දිසානායක යන මහත්වරු පෙනී සිටියහ.
එස්. ප්‍රනාන්දු – මීගමුව