ප්‍රියා සූරියසේනට තහනමක්‌

ප්‍රවීණ ගායක ප්‍රියා සූරියසේන ගායනා කරන "ඈත රන් විමන් තුළින්" යන ගීතය ගායනා කිරීම තහනම් කරමින් අළුත්කඩේ වාණිජ මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා විසින් අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කර ඇත.

ගීතයේ ප්‍රබන්ධක ෂෙල්ටන් වීරරත්න මහතා විසින් තමා 1965 දහහත් හැවිරිදි වියේදී මෙම ගීතය ප්‍රබන්ධ කරමින් ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන මහතාට භාර දුන් බවත් ඔහු තම මූන්ස්‌ටෝන් ගායක කණ්‌ඩායම සමඟින් ගායනා කළ අතර 1967 දී එය තැටිගත කර ඇති බවත් ප්‍රියා සූරියසේන මහතා විසින් එම ගීතය ප්‍රෙමකීර්ති ද අල්විස්‌ මහතා ප්‍රබන්ධ කර ඇති බව විද්යුත් සහ ගුවන් විදුලි මාධ්‍යවලට ප්‍රකාශ කිරීම නිසා තමාගේ කීර්ති නාමයට විශාල හානියක්‌ සිදු වී ඇති බැවින් තමාට කෝටියක මුදලක්‌ බුද්ධිමය දේපළ පනත යටතේ ලබාදෙන ලෙස ඉල්ලා නඩු පවරා ඇත.

සුනිල් පෙරේරා ඇසෝෂියේටඩ් සමාගම මගින් නඩුව ගොනුකර ඇති අතර නීතිඥ එරංග පෙරේරා මහතා සමඟ සමන්මලී ඇල්ලස්‌පෙරුම මහත්මිය විසින් අධිකරණයට කරුණු දක්‌වා සිටියහ. නඩුව අවසන් වන තුරුව ගීතය ගැයීම තහනම් කර ඇත.කරුණු දැක්‌වීම සඳහා දෙපක්‌ෂයම නොවැ. 28 දින අධිකරණය හමුවට කැඳවා ඇත.