වරායෙන් මහින්දට ලක්ෂ 640ක උපන්දින තෑග්ගක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති ධුරය දරද්දී ඒ මහතාට වසර 2010 නොවැම්බර් 18දා වරාය අධිකාරියේ මහජන මුදල් රුපියල් ලක්ෂ හයසිය හතළිහක් පමණ වැය කර පිරිනමා තිබෙන අපූරු උපන්දින තෑග්ගක් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

හම්බන්තොට වරාය විවෘත කිරීම එදින සිදු කර තිබෙන අතර එම කටයුත්ත එදිනට සිදු කළේ රාජපක්ෂ මහතාට පිරිනැමූ උපන්දින තෑග්ගක් ලෙස සනාථ කිරීමට හැකි වීඩියෝ සාක්ෂි සොයාගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අදාළ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

තම උපන්දින උත්සවය සඳහා වැය කළ මුදල් අතර වේදිකාවට පමණක් රුපියල් තිස්හතර ලක්ෂ දහහත්දහසක පමණ මුදලකුත් සංකල්පමය රචනා සිදු කර තිබෙන බන්දුල නානායක්කාරවසම් මහතා නියෝජනය කරන ලද ආයතනයට රුපියල් පනස්හය ලක්ෂයක් පමණ ද වැය කර ඇත. තවද චන්න උපුලි රංගන ශිල්පීන් වෙනුවෙන් රුපියල් හතළිස්තුන්ලක්ෂ විසිඅටදහසක් පමණ ද එදින රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමට රුපියල් ලක්ෂ දහහතක් වැය කර තිබේ. රාජපක්ෂ මහතාගේ උපන්දිනය මුළුමහත් උත්සවය පුරාවට ඉස්මතු කර තිබුණ බවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේය.

පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) සිදු කළ විමර්ශනයෙන් මෙම සියලු තොරතුරු සාක්ෂි සමඟ සොයාගෙන තිබෙන බවත් ඒ මහතා කොමිසම හමුවේ පැවසීය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මේ බව පැවසුවේ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පි.ඒ. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය.