වෙලේ සුදාගේ බිරිය-මව ඇතුළු 4කට ඇප

හෙරොයින් ජාවාරම් කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රම මඟින් අයථා ලෙස මුදල් සහ දේපළ උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දැනට මරණ දඬුවම නියම වී සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ බිරිය, මව ඇතුළු සැකකාරියන් 04 දෙනකු එක් අයකුට රුපියල් 10,000ක මුදල් සහ රුපියල් ලක්‍ෂ 05 බැගින් ශරීර ඇප 02 බැගින් මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පෙරේදා (09දා) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ වෙලේ සුදාගේ බිරිය වන ගයනි සුදර්ශනී, මව වන මානගොඩ කංකානම්ලාගේ ඥානවතී, චන්දිමා දිල්හානි සහ රුවන්තිකා ලක්මානි සිල්වා යන සැකකාරියන් සිවු දෙනායි.
සිද්ධියට අදාළව රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සුරංග සම්පත් සහ ලියනගේ සුමිත් යන සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රහස් පොලිසිය සිදුකරන මෙම විමර්ශනයන්ට අදාළව වෙලේ සුදා ඇතුළු සැකකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කිහිප දෙනකු ඇප මත මුදා හැර තිබේ.