මුසම්මිල්ට ඇප නෑ

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාගේ ඇප අයදුම්පත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ.

ඒ අනුව මුසම්මිල් මහතා ලබන 27 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී පොදු දේපළ පනත යටතේ මොහොමඩ් මුසම්මිල් මහතා ඉකුත් ජූනි මස 20 වන දින අත්අඩංගුවට ගැනුණි.

සැකකරු අද(13)අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ තම සේවාදායකයා පදනම් විරහිතව අත්අඩංගුවට ගෙන තිබීම හා ඔහුගේ දරුවා රෝගී වී සිටීම යන කරුණු සලකා බලා ඔහුට ඇප ලබාදෙන ලෙසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබුණු බව මූලික විභාගයේදී අනාවරණය වී ඇති බවත්, සැකකරුගේ දරුවාට පවත්නා හමේ රෝගී තත්ත්වයට දරුවාගේ මව ළඟ සිටීම ප්‍රමාණවත් බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇති නිසාත් ඇප ඉල්ලීම පිළිගැනීමට තරම් එම කරුණු ප්‍රමාණවත් නොවන බවයි.

ඒ අනුව මෙම කරුණු ඇප ලබාදීමට තරම් සුවිශේෂී නොවන බව කියා සිටිමින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කර තිබේ.


එසේම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිටින බැවින් සිදුකරන පරීක්ෂණ කඩිනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළාය.