මහින්දගෙන් තෙරේසා මේට ලිපියක්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මියට සුබපතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලිපියක් යවා තිබේ.

එම ලිපිය වැඩිදුරටත් පහත පරිදිය.

ගරු තෙරේසා මේ මැතිනිය,
මහා බ්‍රිතාන්‍යයේ අගමැති,
නො. 10, ඩවුනින් වීදිය,
ලන්ඩන්

මැතිනියනි,

මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට පත්වීම ගැන මම ඔබට සුභපතමි. යුරෝපා සංගමයෙන් ඉවත්වී මහා බ්‍රිතාන්‍ය නව මාවතකට ප්‍රවිෂ්ඨ කිරීමේ භාරදූර කාර්ය ඔබට පැවරී ඇත. මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ගැන ඇතැම් අය කනස්සල්ල පල කර තිබුණද, දැනටමත් ලංකාව ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් බොහෝ ගණනක් මහා බ්‍රිතාන්‍ය සමඟ නව වෙළඳ ගිවිසුම් වලට එළඹීමට කැමැත්ත පලකොට ඇත. මේ නව තත්වයෙන් යුරෝපා සංගමයට පිටින් සිටින රටවලට නව අවස්ථා බිහිවෙන බව අවිවාදාත්මකය.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළ තිබෙන සුවිශේෂ තැන නිසා පොදු රාජ්‍ය රටවල්වල සෛවරීභාවය, ස්ථාවරබව, භෞමික අඛණ්ඩතාවය හා ආර්ථික සංවර්ධනය සුරක්‍ෂිත කිරිම සඳහා නායකත්වය ගැනීම සම්බන්ධයෙන් වැදගත් කාර්යභාර්යක් මහා බ්‍රිතාන්‍යට පැවරේ. යුරෝපා සංගමයේ මෑත කාලීන අත්දැකීම් වලින් පැහැදිලි වෙන යථාර්තය වන්නේ එක් රටක් තුළ ඇති වෙන දේශපාලන අස්ථාවරභාවය මුලු කළාපයක් තුළම පැතිරී ගොස් ඈතින් පිහිටි රටවල්වලට පවා බරපතල ආනිශංස ගෙන දෙන බවයි. මේ නිසා ජාතික රාජ්‍යන් තුළ අභ්‍යන්තර ස්ථාවරභාවය සුරක්‍ෂිත කිරීම අද ලෝකයේ ප්‍රධානම දේශපාලන අවශ්‍යතාවය බව මම විශ්වාස කරමි.

ඔබතුමිය මහා බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය හැටියට දරණ ධූරකාලය සියළු ආකාරයෙන් සාර්ථක වේවා යැයි මම පතමි.

මහින්ද රාජපක්‍ෂ (පා.ම)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
හිටපු ජනාධිපති