විමල්ගේ රිට් පෙත්සම ඉවතට

තමා සහ තම බිරිඳගේ වත්කම් උපයාගත් ආකාරය හෙළි කිරීමට පැමිණෙන ලෙස දන්වා අල්ලස් කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස හා ඒ සම්බන්ධව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම වළකන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) නියෝග කළේය.

මෙම පෙත්සම ඉදිරියට පවත්වගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) තීන්දු කළේය.

තවද අල්ලස් කොමිසමට නොතීසි නිකුත් කරන ලෙසට රිට් පෙත්සම මගින් විමල් වීරවංශ මහතා කර තිබු ඉල්ලීම ද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) ප්‍රතික්ෂේප කළේය.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න හා කේ.ටී. චිත්‍රසිරි යන මහත්වරුන් හමුවේ ඊයේ (28) කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කෙරුණි.

අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම මඟින් සිදු කරන විමර්ශන සඳහා අදාළ පාර්ශ්වයන්ට නොතීසි නිකුත් කිරීම මූලිකම පියවර බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් ඊයේ (28) පවසා සිටි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා අල්ලස් කොමිසම මඟින් නොතීසි නිකුත් කරන සැවොම අධිකරණය හමුවට පැමිණ මෙවැනි ඉල්ලීම් සිදු කළ හොත් අල්ලස් කොමිසමට ඉදිරියේදී කිසිදු විමර්ශන කටයුත්තක් සිදු කිරීමට නොහැකි වන බව ද අවධාරණය කර සිටියේය.

එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවතලන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්න මහතා ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර විමල් වීරවංශ මහතාගේ හා ඔහුගේ බිරිඳගේ උපයාගත් වත්කම් සම්බන්ධව දිවුරුම් ප්‍රකාශයක් මඟින් කරුණු දක්වා ඇති බව ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ‍කරුණු දක්වා සිටි පෙත්සම්කාර විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඔහුගේ වත්කම් හෙළි කිරීමට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීම නීතියට පටහැනි බව ද පවසා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම නීතිමය පදනමක් නැති බවට තීරණය කරමින් එය විභාගයට නොගෙනම ඊයේ (28) නිෂ්ප්‍රභා කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ හා ඔහුගේ බිරිඳගේ වත්කම් හා බැරකම් සම්බන්ධව කරුණු හෙළි කරන විමර්ශනයක් පවත්වන ලෙසට ඉල්ලා එම කොමිසමට ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලක් විමර්ශනය කළ අල්ලස් කොමිසම එම පැමිණිල්ල සම්බන්ධව කරුණු දැක්වීමට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණි.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන පනතේ 23(අ) 4 වගන්ති යටතේ මෙම වත්කම් අල්ලස් ලබාගනිමින් උපයා නොගත් වත්කම් බවට හේතු දක්වන ලෙසට අල්ලස් කොමිසම විමල් වීරවංශ මහතාට නිකුත් කළ නොතීසියෙන් කරුණු දක්වා ඇත. තමා එම වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධව දිවුරුම් ප්‍රකාශ මඟින් මේ වන විටත් අල්ලස් කොමිසම වෙත කරුණු දක්වා ‍තිබියදී මෙවැනි නොතීසියක් නිකුත් කිරීම නීතියට පටහැනි බව විමල් වීරවංශ මහතා ගොනු කළ රිට් පෙත්සමෙන් කරුණු දක්වා තිබුණි.

ඒ හේතුවෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා එම කොමිසම නිකුත් කළ නොතීසිය අහෝසි කරන ‍රිට් ආඥාවක් නිකුත් කරන ලෙස හා ඊට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස විමල් වීරවංශ මහතා සිය රිට් පෙත්සමෙන් ඉල්ලා තිබුණි.